( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගම සතු බැංකු ගිණුම් අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් තීරණයට එරෙහිව එම සමාගම සහ එහි සභාපති අර්ජුන් ජෝසෆ් ඇලෝසියස් මහතා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් තමන් ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා අද (28) ප‍්‍රකාශ කළේය.
මෙම පෙත්සම් අද (28) ත‍්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අතර එහිදී එම විනිසුරුවරයා මෙම තීරණය දන්වනු ලැබීය.
ඒ අනුව විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා නොමැති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන 03 වැනිදා මෙම පෙත්සම් කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය එහි ලේඛකාධිකාරීවරියට නියම කළේය.
සිසිර ද ආබෲ, ප‍්‍රසන්න ජයවර්ධණ සහ මුර්දු ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් යුත් ත‍්‍රිපුද්ල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවන ලදී.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, නීතිපති ඇතුළු හයදෙනෙකු මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.
මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් පසුව පෙත්සම්කරුගේ බැංකු ගිණුම් අත්හිටුවමින් වග උත්තරකරුවන් කටයුතු කළ බවත් , එම ගිණුම් වල පවතින මුදල් නිදහස් කරන ලෙසට තමන් කළ ඉල්ලීම අදාළ වගඋත්තරකරුවන් විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබූ බවද පෙත්සමේ සඳහන් වේ.