
(අංජුල මහික වීරරත්න)
මෙරට අක්‍රීයව, විසිරී තිබුණු රෝහල් සංවර්ධන කමිටු සක්‍රීය කිරීමට ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව කීවේ ඇල්පිටිය මූලික රෝහලේ රෝහල් සංවර්ධන කමිටුවේ දායකත්වයෙන් රෝහලේ භෞත චිකිත්සක ඒකකයට රුපියල් පහළොස් ලක්ෂ පනස් දහසක් වටිනා නවීන යන්ත්‍ර දෙකක් පිරිනැමීම සහ රෝහල් පොලීසිය සඳහා රුපියල් ලක්ෂ 12 ක වියදමින් ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල් තැබීමේ උත්සවයේදීය.
සක්‍රීය සහ ශක්තිමත් රෝහල් සංවර්ධන කමිටු සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වීම අත්‍යාවශ්‍ය බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජකාරි භාරගෙන සිදු කළ ප්‍රථම කාර්ය රොහල් සංවර්ධන කමිටු විධිමත් කිරීමට කටයුතු කිරීම බවත් අමාත්‍යවරයා කීය.
අක්‍රීයව, විසිරී තිබුණු රෝහල් සංවර්ධන කමිටු ජාතික රෝහලේ සිට ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකකය දක්වා ඒ ඒ රෝහල් වලට ගැලපෙන ලෙස සක්‍රීය කිරීමට කටයුතු කළ බව ද අමාත්‍යවරයා පැවැසීය.
එහිදී රෝහල් වර්ගීකරණය අනුව රෝහල් සංවර්ධන කමිටුවේ සිටිය යූතු ප්‍රමාණය, සංයුතිය පිළිබඳවත් අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට සක්‍රීය රෝහල් සංවර්ධන කමිටු සැලකිය යුතු රෝහල් ප්‍රමාණයක ස්ථාපිත කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
තමන් “පොරොන්දු දේශපාලනය” අනුගමනය නොකරන බව ද මෙහිදී පැවැසූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා දකුණු පළාත ඇතුළුව සමස්ත දිවයිනේ පුරා සැලසුම් සහගත ක්‍රමවේදයක් ඔස්සේ රෝහල් සංවර්ධනය කිරීමට රජය පියවර ගන්නා බවත්, ඒ අනුව දකුණු පළාතේ රෝහල් පද්ධතිය ද එම වැඩපිළිවෙල තුළ ශක්තිමත් වනු ඇති බවත් වැඩිදුරටත් පැවැසීය.

