ඇල්පිටිය ප්‍රා.සභා ඡන්දයේ තැපැල් ඡන්ද ලකුණු කිරීම 27 වැනිදා


ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයට අදාළ තැපැල් ඡන්ද ලකුණු කිරීම සැප්තැම්බර් 27 වැනිදා පැවැත්වෙන බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා අද (20) පැවැසීය.

එදිනට ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන අයට ඔක්තෝබර් 4 වැනිදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී තැපැල් ඡන්දය සලකුණු කළ හැකි බව ද හෙතෙම කීවේය.

තැපැල් ඡන්දයට අදාළ සුදුසුකම් ලැබූ ඡන්ද හිමියන්ගේ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට බාරදීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (21) සිදු කෙරෙන බවද ඒ වෙනුවෙන් පූර්ණ ආරක්ෂාවක් යෙදීමට පියවර ගෙන ඇති බව ද ගුණසේකර මහතා කීය.

තැපැල් ඡන්දය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ උපදෙස් මත පොලිස් මූලස්ථානය ඇල්පිටිය සහ ගාල්ල පොලිස් කොට්ඨාශ වෙත අවශ්‍ය උපදෙස් දී ඇති බව ද ඔහු පැවැසීය.

සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පොලිස් කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන ඇති බවත් තැපැල් ඡන්ද පැකට්ටු බාරගන්නා හා බෙදාහරින තැපැල් කාර්යාල වෙත පොලිස් ජංගම සංචාර හා පොලිස් යතුරුපැදි සංචාර මගින් ආරක්ෂාව සපයන බව හෙතෙම කීය.

තැපැල් ඡන්ද සිදු කිරීම කෙරෙන සැප්තැම්බර් 27 වැනිදාට එලෙස ආරක්ෂාව යොදවන බව ද ගුණසේකර මහතා වැඩිදුරටත් කීවේය.

055