ඇඹිලිපිටිය මහරෝහලේ සේවකයෝ අතිකාල සේවාවෙන් ඉවත් වෙති


(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)      

ඇඹිලිපිටිය දිසා මහ රෝහලේ කනිෂ්ඨ සේවකයන්ගේ හිඟයට විසදුමක් ඉල්ලා අද (05) දහවල් සිට රෝහල් සේවකයින් අතිකාල සේවා වලින් ඉවත්ව ඇත. මේ හේතුවෙන් රෝහලේ සාමාන්‍ය කටයුතු අඩාලවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 

කනිෂ්ඨ සේවකයන් සිය අතිකාල සේවාවලින් ඉවත්වීම නිසා රෝහලේ බාහිර රෝගීන්ගේ අංශයේ සහ සායනවල ප‍්‍රතිකාර සේවා සම්පූර්ණයෙන්ම ඇනහිට ඇත. සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ගම්මාන රැසක ජනතාව අතරින් දිනකට අටසියයක් පමණ මෙම රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප‍්‍රතිකාර ලබති. ඇතැම් දිනවල සායන ප‍්‍රතිකාර සඳහා දෙදහසකට ආසන්න පිරිස් පැමිණෙති. කනිෂ්ට සේවකයන් අතිකාල සේවාවලින් ඉවත්වීම නිසා ඒවායේ වැඩ මුළුමනින් ම ඇනහිට ඇත.

නමුත් හදිසි ප‍්‍රතිකාර ඒකකය, දැඩි සත්කාර ඒකකය, ශල්‍යාගාරය, සූතිකාගාරය, යන අංශවල කටයුතු බාධාවකින් තොරව සිදුවන බව අතිකාල සේවාවලින් ඉවත්වූ සේවකයෝ පවසති.

කනිෂ්ඨ කාර්ය මණ්ඩලය 356ක් අවශ්‍ය වුව ද, රෝහලේ සේවය කරන්නේ 210ක් බවද, මේ අය අතරින් දිනක එක් සේවා මුරයකට 135ක් පමණ සේවය කරන බව පවසන ශ‍්‍රී ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමයේ ඇඹිලිපිටිය දිසා මහ රෝහල් ශාඛාවේ සභාපති ගාමිණී සුවඳරත්න මහතා, සඳුදා වන තෙක් අතිකාල සේවාවවලින් ඉවත්ව සිටින සේවකයින් මෙම සේවක හිඟයට විසඳුමක් නොලදහොත් වැඩවර්ජනයකට යන බව ද පැවසීය.