ඇමෙරිකාව යළි වැඩ අරඹයි


 
වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)
 
කොංග්‍රස් සභාවේ පැවති ඡන්ද විමසීමෙන් පසු ඇමෙරිකා එක්සත් ජනපදයේ අත්‍යාවශය සේවා ඇතුළු රජයේ කටයුතු නැවත යථා තත්ත්වයට පත්ව තිබේ.
 
මේ අනුව රාජ්‍ය සේවකයන් නැවත සේවයට කැඳවීමට පියවර ගෙන ඇති අතර ඇමෙරිකා එක්සත් ජනපද රජයේ කටයුතු අඟහරුවාදා (24) සිට පූර්ණ වශයෙන් යථා තත්ත්වයට පත්වනු ඇතැයි පැවසේ.
 
කොංග්‍රසයේ පැවති ඡන්ද විමසීමෙන් ජනාධිපති ට්‍රම්ප් ප්‍රමුඛ රිපබ්ලිකන් පක්ෂයට ජය හිමිවිය. සංක්‍රමණික අර්බුදය ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සෙනට් සභාවේ රිපබ්ලිකන්වරුන් සහ ඩිමොක්‍රටික්වරුන්ට එකඟතාවකට පැමිණීමට නොහැකි විය. 
 
ඒ හේතුවෙන් ලබන 16 වැනිදා දක්වා රජයේ කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම වෙනුවෙන් ඉදිරිපත් කරන පරිපූරක ඇස්තමේන්තුව සෙනට් සභාවේදී සම්මත නොවීය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉකුත් සිකුරාදා (19) රාත්‍රියේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ අත්‍යාවශ්‍ය සේවා ඇතුළු රජයේ සේවා රැසක් නවතා දැමිණි. 
 
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අදාළ පනත් කෙටුම්පත 266ට 155ක් ලෙස සම්මත වූ අතර ඉන් අනතුරුව සෙනට් සභාවේදී එය 81ට 18ක් ලෙස සම්මත විය. කෙසේ නමුත් ඉදිරි දිනකදී සංක්‍රමණික ගැටලුව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවත්වීමට රිපබ්ලිකන් පක්ෂය ඩිමොක්‍රටික් පක්ෂයට සහතික වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඩිමොක්‍රටික් පක්ෂය පනත් කෙටුම්පතට විරෝධය පළ කිරීමෙන් වැළකී සිටියේය. 
 
මේ අනුව නීත්‍යානුකූල ලියාපදිංචියක් නොමැතිව ඇමෙරිකා එක්සත් ජනපදයේ රැඳි සිටින තරුණ සංක්‍රමණිකයන්ගේ අනාගතය සම්බන්ධයෙන් ඉදිරි දිනකදී ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේදී ඡන්ද විමසීමක් පැවත්වෙනු ඇත. 
 
පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳුඳා (23) රාත්‍රියේදී ඊට අත්සන් තබා තිබේ.
 
(055 )