ඇමෙරිකාව සහ රුසියාව අතර තවදුරටත් ද්විපාර්ශවීය වශයෙන් සාකච්ඡා හා සබඳතා ඇතිවිය යුතු යැයි රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් මහතා ප්‍රකාශ කරයි.
වියට්නාමයේ පැවැත්වෙන ආසියානු ශාන්තිකර සහයෝගීතා සමුළුව අතරවාරයේදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා මුණ ගැසී තිබේ.
ට්‍රම්ප් ජනාධිපතිවරයා තම පළමු ආසියානු සංචාරයේ නිරත වෙමින් තම සිව්වැනි නවාතැන වන වියට්නාමයට පැමිණියේ සිකුරාදා (10) දිනයේදීය. වියට්නාමයේ දෙදින නිල සංචාරයෙන් අනතුරුව ඇමෙරිකා ජනාධිපතිවරයා අද (12) පිලිපීනයට පැමිණීමට නියමිතය.
ට්‍රම්ප් ජනාධිපතිවරයා හමුවීමෙන් පසුව හෙතෙම සභ්‍ය, ශිෂ්ට, හොඳින් ඉගෙනගත් සහ පහසුවෙන් ගනුදෙනු කළ හැකි පුද්ගලයකු යැයි ද රුසියානු ජනාධිපති පුටින් මහතා පැවැසීය.
ට්‍රම්ප් ජනපතිවරයා හමු වූ අවස්ථාවේදී ප්‍රයෝජනවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට හැකි වූ බව ද පුටින් ජනාධිපතිවරයා කීවේය.
ආසියානු ශාන්තිකර ආර්ථික සහයෝගීතා සමුළුවේදී ට්‍රම්ප් ජනාධිපතිවරයා සමඟ සැලසුම් කළ පරිදි ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නොහැකි බව පැවසූ රුසියානු ජනාධිපතිවරයා ඉදිරියේදී රාජ්‍ය නායකයන්ගෙන් හා නිලධාරී මට්ටමින් තවදුරටත් පැවැත්විය යුතු බව ද කීය.
පසුගිය වසරේ පැවැති ඇමෙරිකා ජනාධිපතිවරණයට රුසියාව මැදිහත් වූ බවට එල්ල වන නැවත වරක් ප්‍රතික්ෂේප කළ රුසියානු ජනාධිපතිවරයා එම චෝදනා හාස්‍යජනක හා අභූත චෝදනා යැයි ද කීවේය.
(රොයිටර්-055)


