(ටී.කේ.ජී.කපිල )
ඇමෙරිකා ඩොලර් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යෑමට තැත් කළ චීන සහ නේපාල ජාතිකයන් සිව් දෙනෙකු අද (17 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙහි වටිනාකම රුපියල් දෙකෝටි හැත්තෑ පන් ලක්ෂ විසි හතර දහසක් බව රේගුව පවසයි.
මෙහි චීන ජාතිකයන් දෙදෙනා වයස අවුරුදු 30 සහ 33 පසුවන අතර , ඉතිරි නේපාල ජාතිකයන් දෙදෙනා අවුරුදු 20 සහ 25 යන වයස් වල පසුවන පුද්ගලයෝ වෙති.
මොවුන් අද අලුයම 5.40 ට ඉන්දියාවේ මුම්බායි බලා පිටත්ව යන ජෙට් එයා වේස් ගුවන් සේවයේ 9W255 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මළු තුළ සහ ඇඳ සිටි කළිසම් වල සාක්කු වල මෙම ඇමෙරිකානු ඩොලර් 169,900 සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම මුදල් තොගය මෙම සිව් දෙනා ශ්‍රී ලංකාවේ කැසිනෝ ක්‍රීඩාව සදහා පැමිණ , එයින් ජයග්‍රහණය කළ මුදල් තොගයක් බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරයි.