
(විමුක්ති එස් රුද්‍රිගු)
ප්‍රංශ අග්‍රාමාත්‍ය සෙබස්තියන් ලෙකෝර්නු ධුරයට පත්වී මාසයක් යන්නටත් මත්තෙන් ඉල්ලා අස් වූවේය. ලෙකෝර්නු ඉල්ලා අස්වූයේ සිය කැබිනට් මණ්ඩලය එළිදක්වා පැය 24 ක් ගතවීමට පෙර වීම විශේෂත්වයකි.
ලෙකෝර්නු වසර දෙකක් තුළ ප්‍රංශයේ පත්වූ පස්වැනි අගමැතිවරයා වන අතර ඔහු ඉල්ලා අස්වීමත් සමග ප්‍රංශයේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇත. ලෙකෝර්නු ප්‍රංශ අගමැති ධුරයේ දින 27 ක කටයුතු කළ අතර ඔහුගේ ආණ්ඩුව පැය 14 කට සීමාවී තිබිණි.
නූතන ප්‍රංශ ඉතිහාසයේ අඩුම කාලයක් බලයේ සිටි ආණ්ඩුව බවට ලෙකෝර්නුගේ ආණ්ඩුව පත්වූ අතර අඩුම කාලයක් ධුර දැරූ අගමැතිවරයා ලෙස ලෙකෝර්නු ඉතිහාසගත විය.
ලෙකෝර්නු ප්‍රංශ ජනාධිපතිවරයාගේ සමීපතමයෙක් ලෙසද සැළකේ.
ලෙකෝර්නු, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් හමුවී, ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් බවත්, ජනාධිපතිවරයා එය පිළිගත් බවත් ප්‍රංශ පුවත් සේවා පවසයි.
ජනාධිපති මැක්රොන්, ලෙකෝර්නු අග්‍රාමාත්‍ය ධුරය පිරිනැමුවේ, මීට පෙර එම ධුරය දැරූ ෆ්‍රැන්ෂුවා බයිරූගේ ඉල්ලා අස්වීමෙන් පසුවය. ප්‍රංශ පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ අන්ත දක්ෂිණාංශික පක්ෂ සතුවය. ප්‍රංශ ජනාධිපති මැක්රොන් සහ ඔහුගේ පාලක පක්ෂය මධ්‍යස්ථමතධාරීය.
ආණ්ඩුව පෙරළා දමන ඔහුගේ පක්ෂයෙන් මෙන්ම අනෙකුත් පක්ෂවලින් එල්ල වූ තර්ජන හමුවේ ලෙකෝර්නු ඉල්ලා අස්වූ බවද පැවැසෙයි.
විපක්ෂ දේශපාලන පක්ෂ තරයේ කියා සිටින්නේ, කඩිනමින් මැතිවරණයකට යා යුතු බවය. මැක්රොන්ට වහා ධුරයෙන් ඉවත් වෙන්නැයි ද බලපෑම් එල්ල වෙමින් තිබේ.

