ඇමැතිටත් හොරෙන් මාධ්‍ය ලේකම් මාධ්‍ය හමුවක් කැඳවලා


(ඩයනා උදයංගනී)
 
සමාජ සවිබලගැන්වීම් සහ සුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතාගේ මාධ්‍ය හමුවක් සඳහා සහභාගීවීමට අද (24) පස්වරුවේ එම අමාත්‍යාංශයට ගිය මාධ්‍යවේදීන්ට පැය එකහමාරක කාලයක් එහි රස්තියාදුවීමට සිදුවූ අතර නියමිත වේලාවට වඩා බොහෝ ප‍්‍රමාද වී ආරම්භ වූ මාධ්‍ය හමුව ද විනාඩි 5කට සීමා විය.
 
ඇමති එස්.බී දිසානායක මහතා හා ඇමතිවරුන්ගේ හිටපු ලේකම්වරුන්ගේ සංසදය පවත්වන විශේෂ මාධ්‍ය හමුවක් අමාත්‍යාංශයේදී පස්වරු 2.00ට පැවැත්වෙන බවට අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් සංජය දසනායක මහතාගේ නමින් ලැබී තිබූ ආරාධනයට අනුව මාධ්‍යවේදීන් එම ස්ථානයට යන විට එහි ශ‍්‍රවණාගාරයේ අමාත්‍යවරයා හා පෙර කී සංසදය අතර සාකච්ඡාවක් ආරම්භ වී තිබූ අතර එය මාධ්‍යවේදීන්ට විවෘත නොවිණි.
 
එබැවින් මාධ්‍යවේදීන්ට ශ‍්‍රවණාගාරයෙන් බැහැරව රැදෙන්නට සිදුවූ අතර පස්වරු 3.00 පසුවන තුරුත් මාධ්‍ය හමුව ආරම්භ නොවූ නිසා මාධ්‍යවේදීන් මාධ්‍ය ලේකම්වරයාට දුරකථන ඇමතුමක් දුන් විට ඔහු පැවසුවේ තවත් විනාඩි දෙකක් ඉවසන ලෙසය. 
 
එහෙත් 3.30 වන තුරුත් ඔහු මාධ්‍යවේදීන් ශ‍්‍රවණාගාරයට නොකැදවූ නිසා සියලූ මාධ්‍යවේදීන් එහි දොරටුව අසලට ගොස් මාධ්‍ය ලේකම්වරයාගෙන් මාධ්‍ය හමුව පටන් ගන්නේ කීයටදැයි ප‍්‍රශ්න කළ විට ඔහු ඇතුළට පැමිණෙන්නැයි දැන්වීය.
 
ඒ අනුව ගොස් අසුන් ගත් මාධ්‍යවේදීන්ට ඇමතිවරයා පැවසුවේ මාධ්‍ය හමුවක් කැදවා ඇති බව තමන් දැන නොසිටි බවයි. සිදුවූ ප‍්‍රමාදය ගැන අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගෙන් සමාව ද ඉල්ලා සිටියේය.
 
අමාත්‍යවරයා පැවැත්වූ මාධ්‍ය හමුව විනාඩි 5කට සීමා වූ අතර එය අවසන් වූ පසු මාධ්‍ය හමුව කැදවුයේ අමාත්‍යවරයා නොදැන දැයි මාධ්‍ය ලේකම්වරයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ ප‍්‍රශ්න අසා වැදගත් ප‍්‍රවෘත්තියක් සොයාගැනීමටත් මාධ්‍ය හමුව දිගු කාලයක් පවත්වා ගැනීමටත් මාධ්‍යවේදීන් දැනගත යුතු බවයි.