බිඟුන් මේනක ගමගේ
උතුරේ යුද්ධය නිමා කළ පරිදි අලි මිනිස් ගැටුම නිමා කළ නොහැකි නමුත් සරත් ෆොන්සේකා ඇමැතිවරයා වන අලින්ට එරෙහිව අවි අමෝරාගෙන එවැනි වැරැදි පිළිවෙතකට අවතීර්ණව ඇතැයි පරිසර සංවිධාන 18ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කරයි.
ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම වසර එකහමාරකින් විසඳීමේ නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් ඇමැතිවරයා මෙම පිළිවෙතට අවතීර්ණව ඇතැයි ඔවුහු පවසති.
මිනිස් ක්‍රියාකාරකම් සහිත සියලු ප්‍රදේශවලින් වන අලින් දහස් ගණනින් පන්නා රක්ෂිතවලට කොටු කිරීමටත් ප්‍රශ්නකාරී තනි අලි ජීවිතාන්තය දක්වා සිර කිරීමටත් මෙමගින් යෝජනා කර ඇතැයි එහි සඳහන් වේ.
මෙය අලි කළමනාකරණ ජාතික ප්‍රතිපත්තියට පටහැනි සියලු විද්‍යාත්මක සොයා ගැනීම්වලට විරුද්ධ යථාර්ථවාදී නොවන වැඩපිළිවෙළක් යැයි ඔවුහු අවධාරණය කරති.
මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාවට නැගීමට උත්සාහ කිරීමෙන් පවා අලි මිනිස් ගැටුම තවත් නරක අතට හැරී වන අලි සංහාරයක් බවට එය පත්වනු ඇතැයි ද එම පරිසර සංවිධාන වැඩිදුරටත් පවසයි.

