අජන්ත කුමාර අගලකඩ
එල්.ටී.ඊ.ඊ යේ මියගිය සාමාජිකයන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල් වලට වන්දි ගෙවිය යුතු බවට ඉල්ලමින් පුනරුත්තාපන හා නැවත පදිංචි කිරිමේ ඇමැති ඩී.එම්.ස්වාමිනාදන් මහතා තුන්වැනි වරටත් ඉදිරිපත් කර තිබු කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය විසින් අද (19) අත්හිටවනු ලැබීය.
මෙම යෝජනාව මීට පෙර අවස්ථා දෙකකදී ඇමැතිවරයා විසින් ඉදිරිපත් කර තිබු නමුත් ඇමැතිවරුන් පිරිසකගේ විරෝධය හමුවේ එය ඉවත් කර ගැනීමට ඔවුනට සිදුවිය.
යුද්ධයෙන් පීඩාවට පත් වුවනට වන්දි ගෙවීම යටතේ ඉදිරිපත් කර තිබු මෙම කැබිනට් පත්‍රිකාව මගින් යුද්ධයෙන් මියගිය සිවිල් වැසියන්ට, හානි වු ආගමික ස්ථාන වලට සහ යුද්ධයේ දී මියගිය කොටි සාමාජිකයන්ට වන්දි ගෙවීමට යෝජනා කර තිබු බව වාර්තා වේ.
එහෙත් යුද්ධයේ දී මියගිය සිවිල් වැසියන්ට සහ හානි වු ආගමික ස්ථාන වලට වන්දි ගෙවීම ගැටලුවක් නොවන නමුත් මියගිය කොටි සාමාජිකයින්ට වන්දි ගෙවිය නොහැකි බව ඇමැතිවරුන් ගණනාවක් පවසා ඇත.
ඇමැතිවරයාගේ විරෝධය සැළකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙම කැබිනට් පත්‍රිකාව අත්හිටුවා ඇතැයි දැනගන්නට තිබේ.