ඇමැති වජිරගේ ප්‍රමාදයට විරෝධය දක්වා පුංචි ආණ්ඩු සභිකයෝ පිටව යති


අමදෝරු අමරජීව 
 
ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (21) පස්වරුවේ පැවැති ත්‍රිකුණාමලය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධිකරණ කමිටු රැස්වීම පැය දෙකක් ප්‍රමාද විමට විරෝධය දැක්වු ප්‍රාදේශීය සභා සභාපතිවරු පස් දෙනෙක් හා ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු පිරිසක් අමාත්‍යවරයා පැමිණිමට සුළු මොහොතකට පෙර සභාව වර්ජනය කර පිටව ගියහ.
 
මෙම රැස්විම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්  ලේකම් කාර්යාලයේදි පැවැත්වුණි. පස්වරු 02.00 තිබූ රැස්විමට අමාත්‍යාවරයා පැමිණියේ පස්වරු හතර පසුවීමෙන් පසුවය. ඒ සම්බන්ධයෙන් විරෝධය දැක්වු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙ ගෝමරන්කඩවල,  පදවි ශ්‍රී පුර හා කන්තලේ ප්‍රාදේශීය සභාවල සභාපතිවරු පිටව යද්දි  එය අනුගමනය කරමින්  කුච්චවේලි ප්‍රාදේශීය සභා සභාපති (මුස්ලිම් කොංග්‍රසය) අයිනිය පිල්ලේ මුබාරක්,  තඹලගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති (එක්සත් ජනතා නිදහස් සන්ධාන) ඒ.බි.සුබියාන් යන මහත්වරු ද පිටව ගියහ.
 
ඒ අනුව එම විරෝධයට එක්වු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු  කිහිප දෙනෙක්ද ගෝමරන්කඩවල ප්‍රාදේශිය සභාවේ උප සභාපතිනි  එස්.නෙරංජලා  සරෝජනි, තඹලගමුව  ප්‍රාදේශිය සභාවේ  උප සභාපති චම්පික බණ්ඩාර යන මහත්ම මහත්මීහුද නැගිට ගියහ.
 
වෙලාවට පටන්ගන්න බැරි  රැස්විම් වලට අප ඉන්නේ කොහොමද අපට තව වැඩ තියනවා යැයි පවසමින්  ගෝමරන්කඩවල ප්‍රාදේශිය සභාවේ සභාපති එල්.බි.චන්දන විජිත කුමාර මහතා සිය විරෝධය මාධ්‍යවේදින් ප්‍රකාශ කළේය.
 
නමුත් දෙමල ජාතික සන්ධාන ප්‍රාදේශිය සභා සභාපතිවරු තිදෙනා  හා එක්සත් ජාතික පක්ෂ සභාපතිවරු දෙදෙනා ඇතුලු එම පක්ෂවල මන්ත්‍රි කණ්ඩායම් සභාවේ රැදි සිටියහ.