ඇමැති මාරුවේදී සමෘද්ධි කම්කරු එජාපයට


(අජන්ත කුමාර අගලකඩ)

ලන්ඩන් සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණි පසුව සිදුකෙරෙන කැබිනට් මණ්ඩල සංශෝධනයේදී, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හිමිව තිබූ සමෘද්ධි හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යධුරය එක්සත් ජාතික පක්‍ෂයට ලබාදෙන ලෙස එම පක්‍ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

මීට පෙර, සමෘද්ධි හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යධුරය හොබවනු ලැබුවේ එස්.බී. දිසානායක මහතා විසිනි.

දැනට එම ධුරයේ වැඩ බැලීම ක්‍රමෝපාය සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතාට පවරා ඇත. මේ අතර, දැනට පුරප්පාඩු වී පවතින කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යධුරයද එක්සත් ජාතික පක්‍ෂයට දී ඒ වෙනුවට එක්සත් ජාතික පක්‍ෂයේ ඇමැතිවරයකු හොබවන වෙනත් කැබිනට් අමාත්‍යධුරයක් ශ්‍රීලනිපයට හිමිවනු ඇති බවද එම ආරංචිමාර්ගවලින් පැවැසේ. ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ කම්කරු හා කම්කරු සබඳතා ඇමැතිධුරයේ වැඩබැලීමට දැනට පත්කර ඇත්තේ ද ඇමැති මලික් සමරවික්‍රම මහතාය.

අමාත්‍යාංශවල විෂයන් බෙදීම විද්‍යාත්මක පදනමක් යටතේ සිදුකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර, ඒ අනුව දැනට එක් අමාත්‍යාංශයක් ලෙස පවතින මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍යධුරය, අමාත්‍යාංශ දෙකකට වෙන් කෙරෙනු ඇතැයි පැවැසේ. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු සංස්කෘතික විෂයට අදාළ ආයතන රැසක් සංස්කෘතික අමාත්‍යාංශය යටතට පත් කෙරෙනු ඇතැයිද වාර්තා වේ. ව්‍යවසාය සංවර්ධන, ඉඩම් සහ වෙළෙඳ හා වාණිජ යන අමාත්‍යාංශ තුනටම අයත් සීනි සමාගම් තුනද එක් අමාත්‍යාංශයක් යටතට පත්  කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.
 
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අංගජන් රාමනාදන් සහ කාදර් මස්තාන් යන මන්ත්‍රීවරුන් ඇතුළු නවක මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී නියෝජ්‍ය ඇමැතිධුර හිමිවීමට බොහෝදුරට ඉඩ ඇති බව දැනගන්නට තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට ලන්ඩනයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 22 වැනිදා යළි දිවයිනට පැමිධෑමට නියමිත අතර අමාත්‍ය මණ්ඩල සංශෝධනය ඉන් අනතුරුව සිදු කෙරෙනු ඇත. කැබිනට් සංශෝධනය අලුතින්ම ඇමැති මණ්ඩලයක් පත් කිරීමක් ලෙස සිදුකෙරෙනු ඇතැයි ද වාර්තා වේ.