ඇමැති කිරිඇල්ලගේ මාධ්‍ය සේවකයන් තිදෙනා රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)

මහජන ආරක්ෂාව සහ මහජන සාමය පවත්වාගෙන යාමට නොහැකි විය හැකි අගතිගාමී කරුණු ඇතුළත් පත්‍රිකා බෙදා හැරීමට සුදානම් කළැයි කියන සිද්ධියකට අදාළව රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන සිටි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මාධ්‍ය අංශයේ සේවකයින් තිදෙනා ලබන 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (30) නියෝග කළේය.

ත‍්‍රස්වාදය වැළැක්වීමේ පනත ප‍්‍රකාරව රැඳවුම් නියෝග මත රදවා තබාගෙන, කොළඹ අපරාධ කොට්ඨාසය අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නුවරතැන්න වාර, වත්තේගම පදිංචි කරන්දෙණීයගේ ගෙදර සම්පත් කුමාර, ගල්වරාම අලව්ව පදිංචි විජේරත්න මුදියන්සේලාගේ ධනුෂ් පි‍්‍රයදර්ෂන  සහ පොල්ගොල්ලේ පදිංචි පටබැදිගේ කවිඳු තක්ෂිල වීරසේන යන අයවලුන්ය.