නිව්යෝක්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
ඉදිරි වසර දෙකක කාලය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබාදෙන මූල්‍ය ආධාරවලින් එක්සත් ජනපදය ඩොලර් මිලියන 285ක මුදලක් අඩු කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කර තිබේ.
ලෝක සාමය හා ආරක්ෂාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ප්‍රධානතම ජාත්‍යන්තර සංවිධානය වන එක්සත් ජාතීන්ගේ සංවිධානය තමන් වෙත නතු කරගැනීමේ අරමුණින් ඇමෙරිකා එක්සත් ජනපදය මෙලෙස මූල්‍ය ආධාර සැපයීම අඩු කිරීමෙන් පෙනී යන බව දේශපාලන විචාරකයෝ පවසති.
මේ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිටින ඇමෙරිකා එක්සත් ජනපද දූත කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් ලබන වසර සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා වෙන් කර තිබූ සම්පූර්ණ මුදලින් මිලියන 285ක මුදලක් අඩු කරන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. මෙම අඩුකිරීම් මොනවාදැයි නිශ්චිතව අනාවරණය නොවුණද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කළමනාකරණ සහ සහාය කටයුතු සඳහා අවශ්‍ය මුදල් ඒ අතර වන බව පැවසේ.
ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් වෙන් කර තිබෙන සම්පූර්ණ මුදල කොතෙක් ද යන්න සම්බන්ධයෙන් එම නිවේදනයේ කිසිවක් සඳහන් ව තිබී නැත.
“ඇමෙරිකා එක්සත් ජනපද ජනතාවගේ පරිත්‍යාගශීලිත්වයෙන් තවදුරටත් වාසි ලබාගැනීමට අප ඉඩ තබන්නේ නැහැ” යැයි නිවේදනය නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් වෙනුවෙන් පත් කර සිටින ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිත නිකී හේලී පවසා තිබේ.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව එම සංවිධානයේ වාර්ෂික මෙහෙයුම් අයවැයට ඇමෙරිකාව ලබාදිය දිය යුතු දායකත්වය සියයට 22කි. ඒ වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය බැඳි සිටියි. මේ වසර සහ ලබන වසර වෙනුවෙන් ඇමෙරිකාව ලබාදුන් මූල්‍යමය දායකත්වයේ වටිනාකම ආසන්න වශයෙන් ඩොලර් බිලියන 1.2කි. එය සාමය පවත්වාගෙන යෑමේ මෙහෙයුම් සඳහා වැය වන පිරිවැයවලින් සියයට 28.5ක ප්‍රතිශතයකි.
අපගේ ලැදියාවන් ආරක්ෂා කරගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යක්ෂමතාව වැඩි කරගැනීම කෙරෙහි අවධානය යොමු කරන බව ද නිකී හේලි පවසා තිබේ.
ඇත්තේ ඊශ්‍රායල-පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් දරන ස්ථාවරත්වය ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙම තීරණයට හේතු වී තිබේ. ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බවත් තෙල් අවිව් නුවර පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලය ජෙරුසලම වෙත ගෙන යන බවත් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉකුත් දිනෙක ප්‍රකාශ කළේය. ඒත් සමඟ බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වූ අතර ඇමෙරිකා ජනාධිපතිවරයාගේ තීරණයට ඇමෙරිකාවේ මිත්‍ර රටවලින් පවා දැඩි විවේචනයක් එල්ල විය.
ඇමෙරිකා ජනාධිපතිවරයාගේ එම තීරණය ඉල්ලා අස් කරගන්නැයි ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යෝජනාවක් ද ඉදිරිපත් වූ අතර නිෂේද බලය භාවිත කරමින් ඇමෙරිකාව එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය.
ඉන් අනතුරුව අරාබි හා මුස්ලිම් රටවල ඉල්ලීමකට හා යෝජනාවකට අනුව හදිසි සහ විශේෂ මහ මණ්ඩල සැසියක් පැවැත්විණි. එහිදි ඡන්ද විමසීමක් ද පැවැත්විණි. එම ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාව ද ඇතුළුව රටවල් 128ක් ඇමෙරිකාවට විරුද්ධව ඡන්දය භාවිත කළේය.
055

