සෝල් (රොයිටර්)

තමන්ගේ යුද ශක්තිය තහවුරු කිරීමට අවශ්‍ය නම් ඇමරිකා එක්සත් ජනපදයේ යුද ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාව මුහුදුබත් කිරීමට සූදානමින් සිටි බව උතුරු කොරියාව කියයි. උතුරු පැසිපික් සාගරයේ කෙරෙන යුද අභ්‍යාස සඳහා යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාවට තවත් ජපන් නාවික යාත්‍රා දෙකක් එක්වීමෙන් පසුව උතුරු කොරියාව මේ බව කියා සිටියේය.
මේ අතර කොරියානු අර්ධද්වීපය දෙසට ගමන් කරන්නයි යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාවේ ප්‍රහාරක කණ්ඩායම් වලට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අණ දී තිබේ. උතුරු කොරියාව දිගින් දිගටම න්‍යෂ්ඨික අවි සහ මිසයිල අත්හදා බැලීම නිසා උතුරු කොරියාව අවට තත්ත්වය උණුසුම් විය.
යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාවේ ප්‍රහාරක කණ්ඩායම් මේ වන විට රැඳී සිටින ඉසව්ව පිළිබඳ කිසිවක් ප්‍රකාශ නොකළ නමුත් ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් මහතා කීවේ ඔවුන් ඉතාම ඉක්මනින් එහි ළඟා වනු ඇති බවයි. උතුරු කොරියාව මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළේය.
“අපේ විමුක්ති හමුදාවන් සටනට සූදානම්. අවශ්‍ය වුණොත් යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාව එක ප්‍රහාරයකින් ගිල්වා දමන්න අපි සූදානම්“ යයි උතුරු කොරියානු පාලක පක්ෂයේ පුවත් පතක් කියා තිබිණ.
මෙම පුවත් පත විසින් යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාව හඳුන්වා දී තිබුණේ ‘සතුන් රැළක්‘ ලෙසිනි. “ඒ වෙතට කෙරෙන ප්‍රහාරය අපේ යුදමය ශක්තිය ප්‍රදර්ශනය කිරීමට හොඳම නිදසුනක් වේවි“ යයිද එහි සඳහන් විය.

