ඇමතිවරයාගේ තීරණයට අධිකරණයෙන් බාධා නොකරයි


(මනෝප‍්‍රිය ගුණසේකර සහ තිළිණි ද සිල්වා)

වසර ගණනාවක් චිත‍්‍රපට බෙදාහැරීමේ කටයුතු කළ පෞද්ගලික සිනමා මණ්ඩලවලින් චිත‍්‍රපට බෙදාහැරීමේ කටයුතු ශ්‍රී ලංකා චිත‍්‍රපට සංස්ථාවට පවරාදීමට විෂයබාර ඇමතිවරයා ගෙන තිබූ තීරණයට එරෙහිව ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි කර තිබූ ඉල්ලීමක් කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය ගාස්තුවට යටත්ව නිශ්ප‍්‍රභ කළාය. පෞද්ගලික සිනමා මණ්ඩල හතරක් විසින් මෙම ඉල්ලීම කරනු ලැබ තිබිණ. 

විෂයබාර ඇමතිවරයාගේ නියෝග මත ශ්‍රී ලංකා චිත‍්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ගෙන තිබූ තීරණය නිත්‍යනුකූල හා අවසානාත්මක එකක් බව අධිකරණයට පෙනී යන්නේ යැයි සඳහන් කරමින් අදාළ ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ ඉල්ලීම ගාස්තුවට යටත්ව නිශ්ප‍්‍රභ කිරීමට දිසා විනිසුරුවරිය නියම කළාය. 

ඊ.ඒ.පී. සමාගම, සිනමා එන්ටර්ටේට්මන්ට් සමාගම, ලංකා ෆිල්ම් එන්ටර්ටේට්මන්ට් සමාගම සහ මූවී ප‍්‍රඩක්ෂන් සමාගම විසින්  ශ්‍රී ලංකා චිත‍්‍රපට සංස්ථාවට එරෙහිව මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකාවේ ක‍්‍රියාකාරී චිත‍්‍රපට ශාලා 177ක් ඇති බවත්, ඉන් චිත‍්‍රපට ශාලා 67ක් පමණක්  ශ්‍රී ලංකා චිත‍්‍රපට සංස්ථාවට අයත් බවත්, සෙසු විත‍්‍රපට ශාලා අයත් වන්නේ පෙත්සම්කාර පෞද්ගලික සිනමා මණ්ඩල හතර ඇතුළු පෞද්ගලික සිනමා මණ්ඩල විසින් බවත් සඳහන් කරන පෙත්සම්කරුවන් එසේ තිබියදී 2018 ජුනි මස 19 වැනිදා විෂයබාර ඇමතිවරයා චක‍්‍රලේඛයක් නිකත් කරමින් චිත‍්‍රපට බෙදාහැරීමේ කටයුතු ශ්‍රී ලංකා චිත‍්‍රපට සංස්ථාවට පවරාදීමට නියම කර ඇතැයි සඳහන් කර ඇත.

විෂයබාර ඇමතිවරයා 2018 ජුනි මස 19 වැනිදා නිකුත් කළ චක‍්‍රලේඛය හේතුවෙන් චිත‍්‍රපට කර්මාන්තය කඩා වැටෙන බවත් තමන්ට දැඩි හානි සිදුවන බවත් සඳහන් කරන පෙත්සම්කරුවන් විෂයබාර ඇමතිවරයා 2018 ජුනි මස 19 වැනිදා නිකුත් කළ චක‍්‍රලේඛය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

මෙම පෙත්සමේ කරුණු සැළකිල්ලට ගනිමින් මුල් අවස්ථාවේදී වාරණ නියෝගයක් නිකුත් කර තිබූ අතර විෂයබාර ඇමතිවරයා ගෙන තිබූ තීරණය ක‍්‍රියාත්මක කිරීම වළකාලන ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කරුවන් කර තිබූ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරුවරිය එම ඉල්ලීම ගාස්තුවට යටත්ව නිශ්ප‍්‍රභ කළාය.