(ඩයනා උදයංගනී)
රිෂාඞ් බදියුදීන් ඇමතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.
බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී අද (27) පැවති මාධ්‍යහමුවකදී එහි ප‍්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පැවසුවේ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනාවන් මත පදනම්ව මෙම තීරණය ගත් බවයි.
සමස්ත ආණ්ඩුවටම එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුවේ කිසිඳු ඇමැතිවරයෙක් ආරක්‍ෂා කිරීමේ උවමනාවක් නැතැයි ද විජිත හේරත් මහතා කීවේය.
ඉකුත් 21වැනිදා ප‍්‍රහාරය පිළිබඳව සම්පූර්ණ පරීක්‍ෂණයක් කිරීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හා රිෂාඞ් බදියුදීන් ඇමතිවරයාට එරෙහි විශ්වාසභංගයත් අතර කිසිදු සම්බන්ධයක් නැති බැවින් තේරීම් කාරක සභාවක් පෙන්වා විශ්වාසභංගය කල් දැමීමේ කිසිදු නීතිමය ප‍්‍රතිපාදනයක් හෝ සදාචාරාත්මක අයිතියක් ආණ්ඩුවට නැතැයි කී මන්ත‍්‍රීවරයා එය කල්දැමීම වරදක් බව ද කීවේය.
මීට පෙර අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට සහ රවී කරුණානායක ඇමතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගවලදීත් ඉදිරිපත් වූ චෝදනා මත පදනම්ව ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ට විරුද්ධව ඡන්දය ලබා දුන් බව කී මන්ත‍්‍රීවරයා රිෂාඞ් බදියුදීන් ඇමතිවරයා සම්බන්ධයෙනුත් අනුගමනය කරන්නේ ඒ ප‍්‍රතිපත්තියම බව සඳහන් කළේය.

