ඇමති ඉල්ලීම ඉවතට : 1 දා එන්න’යි නියෝග


තරිඳු ජයවර්ධන
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහියංගණය නගරයට පැමිණෙන නිසා එහි ප්‍රමුඛ කාර්යයන් රැසක් ඉටු කිරීමට පැවරී ඇති බැවින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණීමට නොහැකි බවට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද (30)  කළ දැනුම්දීම ප්‍රතික්ෂේප කර ඇති මානව හිමිකම් කොමිසම පෙරබරවාරි පළමු වැනි දා නියත වශයෙන්ම කොමිෂන් සභාවේ කොළඹ කාර්යාලයට එන ලෙස මහ අමැතිවරයාට දැනුම් දී ඇත. 
 
මානව හිමිකම් කොමිෂන් සභාව බාර දෙන ලද සිතාසියක් සඳහා නියමිත වේලාවේදී කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කිරීම හෝ පැහැර හැරීම කොමිෂන් සභාවේ අධිකාරියට විරුද්ධව සිදු කරන ලද්දක් සේ සලකනු ලබන බවත්, එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම් දිය හැකි වරදක් බවත් කොමිසම ඌව මහ  ඇමැතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.
 
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ආර් භවානි මහත්මිය දණගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයට පෙබරවාරි පළමු වැනි දා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොළඹ කාර්යාලයේ පෙනී සිටින ලෙස එම කොමිසම ඊයේ  (29) ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතාට සිතාසි යොමු කළේය.