ඇප දීමට මහෙස්ත්‍රාත් පෙළඹවීයැයි උසාවි මුරපොළේ ස්ථානාධිපති මාස 36ක් හිරේට


(මනෝප‍්‍රිය ගුණසේකර)


විත්තිකරුවකුට ඇප ලබාදීම සඳහා මහෙස්ත‍්‍රාත්වරයා පෙළඹවීම සඳහා කූට ලෙස සකස් කළ ලේඛනයක් මාලිගාකන්ද මහෙස්ත‍්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමේ චෝදනාවට වරදකරු වු මාලිගාකන්ද මහෙස්ත‍්‍රාත් අධිකරණ උසාවි මුරපොළේ හිටපු ස්ථානාධිපතිවරයා අධිකරණයේ විශ්වාසය බිඳ දමා ඇතැයි සඳහන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔහුට මාස 36ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.


සාමාන්‍ය පොලිස් නිලධාරියකුට වඩා වැඩියෙන් විශ්වාසය තබන අධිකරණය බාරව කටයුතු කරන පොලිස් නිලධාරියකු වු විත්තිකරු මහෙස්ත‍්‍රාත්වරයා රැවටීම මඟින් වැරදි ආකාරයෙන් කටයුතු කිරීමට ඔහු පොළඹවා ඇතැයිද වැඩිදුරටත් සඳහන් කළ විනිසුරුවරයා විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 29,500/-ක දඩයක්ද ඔහුට නියම කළේය.


චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ මාලිගාකන්ද මහෙස්ත‍්‍රාත් අධිකරණ උසාවි මුරපොළේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂක එම්.එම්. සරත් බිබිල මහතාටය.