ඇඳිරි නීතිය තිබියදීත් පැය 13 ක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘතයි


(අජන්ත කුමාර අගලකඩ සහ කාංචන කුමාර ආරියදාස )
 

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට  (25) සවස 5.00 සිට විවෘතව තැබෙන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ලංකාදීපයට පැවසීය.
 
කෙළඹ, ගම්පහ, ඇතුලු දිස්ත්‍රික්ක කිහිපයකට හැර අනෙකුත් දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නිතිය  අනිද්දා (26) උදේ 6.00ට අවසන් වන බැවින්, අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම හා බෙදා හැරීම සඳහා ආර්ථික මධ්‍යස්ථානය මෙසේ විවෘතව තිබෙන බව ඇමැතිවරයා කීවේය.

ඒ අනුව, හෙට(25)  සවස 5.00ට විවෘත කරන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අනිද්දා (26) දහවල් 12.00 දක්වා විවෘතව තිබෙන බවද ඔහු කීවේය.

ඒ අනුව  දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට  ගොවීන්  රැගෙන ආ එළවළු තොග සියල්ල සහතික මිල ගණන් යටතේ රජය විසින් මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් අද (24)  දින දහවල් සිට ආරම්භ  කර තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමත් සමඟ දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ගොවීහු දඹුල්ල ආර්ථික  එළවළු රැගෙන විත්  ඒවා විකුණා ගැනීමට නොහැකිව දැඩි අසීරුතාවයකට පත්ව සිටියහ .

ගොවීන් රැගෙන ආ එළවළු කිලෝ ලක්ෂ 35ක් 50ත් අතර ප්‍රමාණයක්  අලෙවි කර ගැනීමට නොහැකිව ආර්ථික මධ්‍යස්ථානයක් තුළ ගොඩ ගසා  වෙළඳුන්ගේ පැමිණීම නැති වීම ඊට හේතුවයි. 

තිබෙන සිද්ධිය පිළිබඳව සොයා  බැලීම සඳහා  රාජ්‍ය  පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ද එම ස්ථානයට පැමිණියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, චමල් රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම එළවළු  සියල්ල රජය මිලදී ගැනීමට අවශ්‍ය  පියවර ගෙන තිබේ.