
(ඩයනා උදයංගනී)
කොළඹ තෙවැනි සහායක රදගුරු පදවිය සඳහා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පත්කරන ලද පී. ඇන්ටන් රංජිත් පියතුමන් අභිෂේක කිරීමේ දේව මෙහෙය කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී පැවැත්විණි.
මේ වන විට රට තුළ පවතින කෝවිඩ් 19 වෛද්‍ය උපදෙස් හේතුවෙන් මෙම අවස්ථාවට සීමිත පිරිසක් පමණක් සහභාගී කරවා ගත් බව බව අගරදගුරුපදවි මාධ්‍ය අධ්‍යක්‍ෂ ජූඞ් ක්‍රිෂාන්ත පියතුමෝ පැවසූහ.
ශුද්ධෝත්ම පාප් වහන්සේ විසින් ඉකුත් ජූලි 13 වැනිදා මෙම පත්වීම සිදුකරනු ලැබූහ.
මේ වන විට 53 හැවිරිදි වියෙහි පසුවන පී. ඇන්ටන් රංජිත් හිමිපාණෝ කලක් කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ උප අදියුරුවරයා ලෙසින් කටයුතු කළහ. පසුව මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ අදියුරු පියතුමන් ලෙස පත්වීම් ලැබ ගිය උන්වහන්සේ විද්‍යාලය හැරපියා පැමිණියේ කොළඹ තෙවැනි සහායක රදගුරු පදවිය බාරගැනීමට සිදුවූ බැවිනි.
කොළඹ සෙසු සහායක රදගුරුවරුන් දෙදෙනා වන්නේ 2011 සහ 2018 දී පත් කරන ලද මැක්ස්වෙල් සිල්වා සහ ජේ. ඩී. ඇන්තනි ජයකොඩි හිමිපාණන් වහනසේලාය.
පී. ඇන්ටන් රංජිත් හිමිපාණන් වහනසේ 1966 සැප්තැම්බර් 23 වන දින යාපනයේදී උපත ලැබූහ. යාපනය විශ්ව විද්‍යාලයෙන් ගණිතය පිළිබඳ උපාධියක් ලබාගත් උන්වහන්සේ පසුව එක්සත් රාජධානියේ මිඞ්ල්සෙක්ස් විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබාගත්තේය. පසුව යාපනය විශ්ව විද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද හිමිකරගත්තේය.

