ඇඟලුම් සේවකයින්ගේ අප්‍රේල් වැටුප ගෙවීමට එකඟ වෙයි


(විනීතා එම් ගමගේ)

ඇඟලුම් කම්හල්වල සේවක සේවිකාවන්ට අප්‍රේල් මස වැටුප හා උත්සව අත්තිකාරම් ගෙවීමට ඇඟලුම් නිෂ්පාදන සංගමය එකඟ වූ බව රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ්  ගුණවර්ධන මහතා පැවැසීය.

ඇඟලුම් නිෂ්පාදන සම්මේලනය, හාම්පුතුන් ගේ සම්මේලනය, වෘත්තිය සමිති නියෝජිතයින් හා කම්කරු අමාත්‍යංශ නිලධාරින් සමඟ පසුගියදා අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම එකඟතාවට  පැමිණි  බව ද හෙතෙම කියා සිටියේය.

මාර්තු වැටුප ඔවුන් වෙත ගෙවා ඇති බවත් මාර්තු 16 වැනිදා සිට සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය කඩා වැටී ඇති බවත් කී අමාත්‍යවරයා එවැනි තත්ත්වයක් තිබිය දීත් මෙසේ අප්‍රේල් වැටුප හා උත්සව අත්තිකාරම් ගෙවීමට එකඟවීම පිළිබඳව කම්හල්හිමියන් වෙත ස්තූතිය පුද කරන බවත් කියා සිටියේය.