ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාව සූදානම්


ජුනි මස කොළඹදී පැවැත්වෙන 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලිය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සාර්ථකව අවසන් වෙමින් පවතින බව මලල ක‍්‍රීඩා අතුරු කමිටුවේ සභාපති බි‍්‍රගේඩියර් ප‍්‍රියන්ත සමරතුංග මහතා පවසයි. කොළඹ ටොරින්ටන්’හි පිහිටි ක‍්‍රීඩා අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේදී ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් සමරතුංග මහතා ප‍්‍රමුඛ අතුරු කමිටු නිලධාරීන් පැවසුවේ ආසියානු තරගාවලියේ සංවිධාන කටයුතු පිළිබඳව විවිධ මත පළවෙමින් තිබෙන අවස්ථාවක මාසයක් වැනි කෙටි කාලයක් සඳහා පත්වු සිය අතුරු කමිටුව තරගාවලිය සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගෙන ඇති බවයි. ඉකුත් මාර්තු මස 31 වැනිදා මලල ක‍්‍රීඩා සංගමය විසුරුවා හැරීමෙන් පසුව ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් සමරතුංග මහතාගේ සභාපතීත්වයෙන් යුත් අතුරු පාලක කමිටුව පත් කරන ලදී. වෛද්‍ය ධම්මික සේනාරත්න (ලේකම්), ගුවන් කොමදෝරු නලින්ද සිල්වා, නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද සහ කේ. පී. ඥානපාල යන මහත්වරු අතුරු කමිටුවේ සාමාජිකයෝ වෙති.  මලල ක‍්‍රීඩා සංගමයේ නිලවරණය මැයි මස 3 වැනිදා පැවැත්වීමට නියමිතය. ‘‘මලල ක‍්‍රීඩා සංගමයේ හිටපු නිලධාරීන් අපට අවශ්‍ය තරම් ලියකියවිලි බාරදී නැහැ. අප ලිඛිතව ඉල්ලා සිටියා අපේ කටයුතු සාර්ථක කර ගැනීමට අපට සෑම ලියවිල්ලක්ම ලබාදෙන ලෙස. ආසියානු කනිෂ්ඨ තරගාවලිය කියන්නේ ජාතික අවශ්‍යතාවයක්. එනමුත් තරගාවලිය සම්බන්‍ධ සියලූ කටයුතු අඩුවක් නොකර ක‍්‍රියාත්මක කරමින් සිටිනවා යැයි’’ අතුරු කමිටු නිලධාරීහු පැවසුහ. නිලධාරීන් 15 දෙනකුගෙන් සමන්විත සංවර්ධන කමිටුවක් මගින් ආසියානු කනිෂ්ඨ තරගාවලියේ සංවිධාන කටයුතු ක‍්‍රියාත්මක වන බව සමරතුංග මහතා පැවසීය. ‘‘නිලධාරීන් 15 දෙනා අතර අප පස් දෙනාත් සිටිනවා. සංවර්ධන කමිටුව යටතේ අනුකමිටුත් ක‍්‍රියාත්මක වෙනවා. තරගාවලියට යන වියදම් ඇස්තමේන්තුව ලබන සදුඳා වන විට අපට නිකුත් කරන්න හැකි වෙයි. ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තරගාවලිය සාර්ථක කර ගැනීමට අවශ්‍ය ප‍්‍රතිපාදන ලබා දෙනවා යැයි’’ සමරතුංග මහතා වැඩි දුරටත් පැවසීය. ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියට රටවල් 34 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සහභාගි වෙති. තරගාවලිය ජුනි මස 9 වැනිදා සිට ජුනි මස 12 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත්වන කණ්ඩායම තෝරා ගැනීමේ ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා සංචිතයට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 81 දෙනෙක් ඇතුළත්වෙති.