(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
වත්මන් ආර්ථික අර්බුදය ඇතිවීමට බලපෑ සහ වගකීම් පැහැර හරින ලද නිලධාරීන් ඇතුළු සියලු දෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සුදුසු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් ) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා අද (25) නිර්දේශ කළේය.
ආර්ථිකය මෙහෙයවූ කිහිපදෙනෙකුගේ තීරණ නිසා මුළු මහත් රටක් අද සුවිශාල අර්බුදයකට පත්ව ඇති බැවින් අපරාධයක් සේ සලකා කඩිනමින් මේ පිළිබදව පරීක්ෂණය කළ යුතු බවද කෝප් සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබද පරීක්ෂා කිරීම සදහා එම බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු ප්‍රධානීහු කෝප් කමිටුව හමුවට ඊයේ(25) දෙවැනි දිනයටත් කැඳවනු ලැබූහ. කෝප් කමිටු සභාපතිවරයා මෙම නිර්දේශය ලබා දී ඇත්තේ එම රැස්වීමේදීය.
කෝප් කමිටුව මෙම ආර්ථික අර්බුදය නිර්මාණය වීමේ මූලික කරුණු පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් විමසුවේය.
මෙහිදී වීරසිංහ මහතා පැවසුවේ 2020 මාර්තු - අප්‍රේල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ණය පහසුකම් ලබා ගැනීමට යෑමේදී ශ්‍රී ලංකාව ණය තිරසර බව ( Debt Sustainability) නොමැති රටක් බව ඔවුන් දැනුම් දී තිබූ බවයි.
එබැවින් ණය පහසුකම් ලබා ගැනීමට නම් පවතින ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බව එම අරමුදල එවකට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට සහ මහබැංකු අධිපතිවරයාට ලිඛිතව දන්වා ඇති බවද ඔහු පැවසූවේය.
මේ අනුව තාක්ෂණික සාකච්ඡාවලින් පසු මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අදාළ තාක්ෂණික කාරණා මුදල් අමාත්‍යවරයා ඇතුළු ඉහළ නිලධාරීන්ට නිර්දේශකර යවන ලද බවත් තීරණ ගන්නේ මුදල් අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය බවත් මහබැංකු අධිපතිවරයා මෙහිදී පැවසීය.
එවකට මුදල් අමාත්‍යවරයා කිසි විටකටත් පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය නොකළ බවත් ඔහු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අදහස් පළ කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙම සත්‍ය තත්වය පාර්ලිමේන්තුවට දැනුම් නොදුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී පැවසීය.
එසේම 2019 නොවැම්බර් IMF වාර්තාව අනුව ශ්‍රී ලංකාව ඒ වන විට ණය තිරසාර මට්ටමේ පැවති බවත් අනතුරුව ජනාධිපතිවරණයෙන් මාස කිහිපයකට පසුව නිකුත් කෙරුණු IMF වාර්තාවට අනුව ලංකාව ණය තිරසර නොවන්නේ යැයි දැනුම් දුන් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
එවකට ජනාධිපති ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් රුපියල් කෝටි 60,000 ක බදු අඩුකරගැනීමක් සිදුවූ බවත් මීට පෙර IMF වාර්තාවෙන් බදු ආදායම අඩුකර නොගන්නා ලෙස උපදේශයක් ලබා දී තිබියදී මෙවැනි තීරණයක් ගත්තේ කවුරුන්ද යන්න ප්‍රශ්නයක් බවත් හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා පෙන්වා දුන්නේ නව ව්‍යවසායකයන් දිරිගැන්වීමේ අරමුණ ඇතිව මෙම තීරණය ගත්බවයි.
පසුගිය කාලය තුළ විනිමය අනුපාතිකය ආයාසයකින් යුතුව රදවා තබා ගැනීම නිසා විශාල මුදලක් අහිමිවීම පිළිබදව සමාජයේ පවතින මතය ගැන මෙහිදී කමිටුව විමසන ලදී.
මේ පිළිබඳ බලය ඇත්තේ මුදල් මණ්ඩලයට බව මහබැංකු අධිපතිවරයා පැවසීය. එවකට මුදල් මණ්ඩල සාමාජිකාවක වූ ආචාර්ය රාණි ජයමහ මහත්මිය පැවසුවේ මහබැංකු සංචිත යොදා ගනිමින් මෙම විනිමය අනුපාතය ආයාසයෙන් රදවා තබා ගැනීමට දැඩි ලෙස විරුද්ධ වෙමින් තමා සහ හිටපු මුදල් මණ්ඩල සාමාජික සංජීව ජයවර්ධන මහතා එය ලිඛිතව දැනුම් දුන් බවයි.
නමුත් මුදල් මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුගේ මතය අනුව විනිමය අනුපාතිකය එකම අගයක රදවා තබා ගැනීම සිදුවූ බවත් එවකට මහබැංකු අධිපතිවරයා වූ මහාචාර්ය ඩබ්.ඩී ලක්ෂ්මන්, භාණ්ඩාගාරයේ එවකට හිටපු ලේකම්වරයා සහ සාමාජික සමන්ත කුමාරසිංහ යන මහත්වරුන්ගේ අභිමතය පරිදි මෙය සිදුවූ බවත් මෙහිදී අනාවරණය විය.
බාහිර පාර්ශවවල බලපෑමෙන් තොරව නිවැරදි තාක්ෂණික කරුණු මත පිහිටා තීන්දු තීරණ ගැනීමේ බලය මහබැංකුවට ලබා දීමේ අවශ්‍යතාව මෙහිදී කෝප් කමිටුව අවධාරණය කළේය.
එසේම වත්මන් අර්බුදකාරී තත්වය සමනය කර ගැනීමට අදාළ විසදුම් පිළිබදව ද දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වීම දක්වා යන ගමනේදී ඉදිරි මාස 3-4 ක කාලය සදහා අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීම තරමක් අසීරු වුවද කෙසේ හෝ එම අභියෝගය ජය ගැනීමට උත්සහ කරන බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
වත්මන් ආර්ථික අර්බුදය තුළ පවතින ඉන්ධන හිගය ඇතුළු ගැටලු හමුවේ අවම රාජ්‍ය සේවක සංඛ්‍යාවකින් රාජකාරි පවත්වාගෙන යෑම සදහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡා කර ඉදිරි සති 3 සදහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් වහාම සකස් කරන ලෙසද කෝප් සභාපතිවරයා මෙහිදී මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට නිර්දේශ කළේය.
වත්මන් අර්බුදය විසදා ගැනීම සදහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ මහබැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් සිදු කරන මෙහෙය පිළබදව කෝප් සභාපතිවරයා මෙහිදී සිය ප්‍රශංසාව පළ කළේය.
මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, ජගත් පුෂ්ප කුමාර, මධුර විතානගේ සහ ප්‍රේම්නාත් සී දොලවත්ත යන මහත්වරුන්ද විගණකාධිපතිවරයා, මුදල් අමාත්‍යාංශයේ සහ මහබැංකුවේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද සහභාගිවූහ.