ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්


(යොහාන් භාසුර)

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය මේ මස 18 වන දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය ඔත්තු සේවා උපුටා දක්වමින් පළවී ඇති මාධ්‍ය වාර්තා සාමාන්‍ය තොරතුරු මත පදනම් වී ඇති බවත් ඒ පිළිබඳ වැඩි දුර තොරතුරු ලැබුණ හොත් ශ්‍රී ලංකාවට දැනුම් දෙන බවත් ඉන්දීය බුද්ධි අංශය දැනුම් දී ඇතැයි ආරක්‍ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ කාර්ය නියුක්ත අධක්‍ෂ කර්නල් එම්. බී. බී. හේරත් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඉන්දීය ඔත්තු සේවා උපුටා දක්වමින් මේ මස 13 දින ‘ද හින්දු’ පුවත්පතේ වාර්තාවක් පළකර ඇති බවත් එම තොරතුරු සම්බන්ධයෙන් මෙරට බුද්ධි අංශ ඉන්දීය බුද්ධි අංශ වෙතින් කරුණු විමසූ බවත් එම නිවේදනයේ සඳහන් වේ.

එම තොරතුර සහ ජාතික ආරක්ෂාව සම්බන්ධ  බුද්ධි සහ ආරක්ෂක අංශ වෙත ලැබෙන සියලු තොරතුරු පිළිබඳව නිසි විමර්ශනයන් කර අදාල ආරක්ෂක අංශ දැනුවත් කර ආරක්ෂාව තරකිරීමට සියලු ඉදිරි ක්‍රියාමාර්ග  ගැනීමට කටයුතු කරන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.