ආබාධිත රණවිරුවා විදුලි කණුවට නගී


(ඉන්දිකා රාමනායක)

කොටුව දුම්රිය ස්ථානය අසළ  විරෝධතාවේ නිරතව  සිටින ආබාධිත රණවිරුවන් අතර සිටි   එක් රණවිරුවකු අද (19) එහි තිබූ විදුලි කණුවක නැග ගත් අතර,   ගිනි නිවන හමුදාව විසින් පසුව ඔහුව බේරාගන්නා ලදී.
 
මේ සිද්ධිය හේතුවෙන් ඊයේ පස්වරුවේ කොටුව  දුමිරිය ස්ථානය අසළ උණුසුම් තත්ත්වයක් හටගත්තේය.
 
ඔහුට බිමට බහින ලෙසට අවට පිරිස  කෑ ගසා ඉල්ලීම කළ ද ඔහු එම ඉල්ලීමට  කන් නොදී   විදුලි පහන් කණුවේ  ඉහළට  නැග  එහි එල්ලී සිටියේය. ඔහුට  විදුලි සැර වැදීම වළක්වා ගැනීමට කොටුව පොලිසිය   වහාම සිද්ධිය කොළඹ නගර සභාවේ  ගිනි නිවීමේ ඒකක වෙත දැනුම් දුන්නේය.
 
ඒ අනුව එම ස්ථානයට 163  නැමැති ගිනි නිවන රථය හා  බටයන්  කිහිප දෙනෙක් පැමිණි අතර, දොඹකරය ආධාරයෙන්  විදුලි පහන් කණුව වෙත ගොස් එහි ඉහළ රැඳී සිටි  හමුදා සෙබළා   පහළට රැගෙන ඒමට කටයුතු කළහ.  පසුව ඔහුව එම ස්ථානයේ සිටි කොටුව පොලිස් නිලධාරීන් වෙත බාර දුන්හ.
 
පොලිසිය විසින් එම රණවිරුවාට අවවාද කරමින්  රණවිරුවන්  රැඳී සිටින අට්ටාලය  වෙත කැඳවාගෙන ගියහ.