ආපදාවෙන් පීඩාවට පත් පිරිස 1,25,000 ඉක්මවයි‍


(ඩයනා උදයංගනී)
 
පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 19 කට ගං වතුර හා නායයෑම් ආපදා තත්ත්වයක් බලපා ඇති අතර ඒ හේතුවෙන් මේ වන විට පවුල් 32,126 කට අයත් 1,25,954  දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

 
ඉන් පවුල් 13,832කට අයත් 54,205 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන 251ක රඳවා සිටින බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
 
පවතින ආපදා තත්ත්වය හේතුවෙන් නිවාස 43කට පූර්ණ හානි සිදුව තිබූ අතර තවත් නිවාස 3225කට අර්ධ හානි සිදුව ඇතැයි ඔහු සඳහන් කළේය.
 
අකුණු සැර වැදීම්, දියේ ගිලීම්, ඉවුරු හා ගස් අතු කඩාවැටීම් හේතුවෙන් මේ වන විට මරණ 13ක් ද වාර්තා වී තිබේ.
 
මුලතිව්, යාපනය, වව්නියාව, මහනුවර, ගාල්ල, රත්නපුර, බදුල්ල, නුවරඑළිය, කෑගල්ල, කළුතර, ගම්පහ, කොළඹ, කුරුණෑගල, පුත්තලම, මාතලේ, මොණරාගල, මාතර, හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන්ට මෙම ආපදා තත්ත්වය බලපා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.