(ඩයනා උදයංගනී)
මෙරට විවිධ ප්‍රදේශවලට පසුගිය 2016 - 2017 කාලය තුළ ඇතිවූ ස්වභාවික ආපදා හේතුවෙන් රටට රුපියල් කෝටි 8,600 ක පමණ පාඩුවක් සිදුව තිබේ.
එම කාලය තුළ ඇතිවූ ගංවතුර, නායයෑම් හේතුවෙන් රුපියල් කෝටි 7,040ක පමණ පාඩුවක් සිදුව ඇති අතර ප්‍රදේශ රැසකට බලපෑ නියඟය හේතුවෙන් ද රුපියල් කෝටි 1,520ක පමණ පාඩුවක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ හා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පැවසීය.
සිදුවූ පාඩුවට අමතරව ආපදාවන් හමුවේ බිඳ වැටුනු ජනජීවිත නගා සිටුවීම වෙනුවෙන්ද විශාල මුදලක් වැය කිරීමට රජයට සිදු වූ බව රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ දේශගුණික බලපෑම් හා ස්වභාවික විපත් ඇතිවීමේ ප්‍රවනතාව වේගයෙන් ඉහළ යමින් පවතින බව කී රාජ්‍ය අමාත්‍යවරයා 2016 - 2017 යන කාල පරාසය තුළ ආපදා අවදානම් දර්ශකයේ 98 වන ස්ථානයේ පැවැති ශ්‍රී ලංකාව 2018 වසර වන විට 04 වන ස්ථානය දක්වා පැමිණ ඇති බවද සඳහන් කළේය.
මෙම තත්ත්වය බරපතල ලෙස සැලකිල්ලට ගනිමින් ආපදා කළමනාකරණ වැඩපිළිවෙල වඩාත් ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සෘණාත්මකව බලපාන බව කී රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා එය ආසියාවටද පොදු කරුණක් වී ඇති බව කියා සිටියේය.
එබැවින් ආපදා කළමනාකරණය වෙනුවෙන් වූ ආසියානු කලාපීය බලකායක් පිහිටුවා කිසියම් රාජ්‍යයක විපතකදී සම්පත් බෙදා හදා ගනිමින් දායකත්වය ලබා දීමේ පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාවට නැගිය යුතු බව මොංගෝලියාවේ උලම්බටාර් අගනුවරදී මේ දිනවල පැවැත්වෙන ආපදා කළමනාකරණය පිළිබඳ ආසියානු සමුළුවට ශ්‍රී ලංකාවෙන් යෝජනාවක් ද ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වී සිටින්නේ ද රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාය.