ආඳාදොළදී මෝටර් රියක් දුම්රියේ ගැටී දෙදෙනෙක් මරුට


(සුසිල් ප්‍රියන්ත)

අම්බලන්ගොඩ, ආඳාදොළ දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෝටර් රියක් දුම්රියේ ගැටීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
සිය මිතුරකුගේ මංගල උත්සවයකට සහභාගී වී යළි සිය නිවෙස බලා යමින් සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු එසේ මිය ගොස් ඇති අතර ඔවුන් දෙදෙනා මිතුරන් බවත් තම පවුලේ අය සමග මෝටර් රියකින් ගමන් ගනිමින් සිටියදී අනතුර සිදුවී ඇති බවත් අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
ආඳාදොළ දුම්රිය ස්ථානය අසළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී අද(30) සවස ශීඝ්‍රගාමී දුම්රියක ගැටීමෙන් මෝටර් රථය කුඩු පට්ටම් වී ඇති අතර එහි ගමන්ගත් උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා සිද්ධිය වූ ස්ථානයේ දීම මියගොස් ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
දුම්රියේ ගැටුණු මෝටර් රථය මීටර් 100ක් පමණ ඇදී ගොස් ඇති අතර මෝටර් රියේ ගමන්ගත් උප පොලිස් පරීක්ෂකවරයකුගේ ගැබිණි බිරිඳ බරපතල තුවාල ලබා මේ වනවිට කරාපිටිය රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුරටත් පවසයි. 
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගෝනහේන, විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්තව රාජකාරී කළ ඇල්පිටියේ පදිංචි උප පොලිස් පරීක්ෂක චන්දිම සුබසිංහ සහ මුලතිව් විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්තව රාජකාරී කළ වැල්ලවායේ පදිංචි උප පොලිස් පරීක්ෂක සංජීව වනසිංහ නමැත්තන් බව පොලිසිය කියයි.
මෙම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ උණ බම්බු ගේට්ටුවක් සවිකර තිබූ අතර එය මීට ඉහතදී තම විරෝධතා සැලකිල්ලට නොගෙන දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉවත් කරගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පැවසූහ.