ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට


 (පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)

ආනවිළුන්දාව රැම්සා තෙත් බිම ඩෝසර් කිරීමට සම්බන්ධ ව්‍යාපාරිකයා ආරච්චිකට්ටුව පොලිසිය අද (29) උදෑසන අත් අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලිසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ උඩප්පුව පොලිස් වසමට අයත් ප්‍රදේශයක ඉස්සන් ව්‍යාපාරික කටයුතු වල නිරත වන ප්‍රධාන ව්‍යාපාරිකයකු බව කියයි.

ආනවිළුන්දාව රැම්සා අභය භුමියට පසුගිය 25 දින සවස මෙම ව්‍යාපාරිකයා ඇතුළු පිරිසක් නීති විරෝධිව ඇතුල් වී ඉස්සන් කොටු සැකසීමේ අරමුණීන් ඩෝසර් යන්ත්‍ර යොදා ගනිමින් අක්කර 4කට ආසන්න භුමියක් විනාශ කර ඇති බව කියයි.

මෙම විනාශයට සම්බන්ධ ඩෝසර් යන්ත්‍රය හා එහි ක්‍රියාකරු ආරච්චිකට්ටුව පොලිසිය මගින් ඊයේ (28) සවස අත් අඩංගුවට ගෙන තිබුනී.

ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරුගෙන් කල ප්‍රශ්න කිරිම් වලින් අනතුරුව මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් අද (29) හලාවත අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

ඡායාරූප - පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ