කිරි දෙනුන් ආනයනය කිරීමේදී ආනයනික දෙනුන් සඳහා වන ඕස්ට්‍රේලියානු සත්ත්ව සෞඛ්‍ය සහතිකය මෙරට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය පවසයි.
‘ඕස්ට්‍රේලියාවෙන් ආනයන කළ කිරි දෙනුන් සෞඛ්‍ය සම්පන්න නොවේ‘මැයෙන් මැයි මස 13 වැනිදා පළ වු පුවතක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නිහාල් වෙදසිංහ මහතා මේ බව පැවසීය.
මේ සම්බන්ධයෙන් පළ වු ප්‍රවෘතියේදී පශු පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්.එස්.පී. සිල්වා මහතා ආනයනික සතුන්ගේ රෝග තත්ත්ව පිළිබඳ සැකසු වාර්තාව පළ කර තිබු අතර, එම වාර්තාව අදාළ සියළු පර්යේෂණයන්හි අවසන් වාර්තාව නොවන බවද සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
පුවත් වාර්තාවේ සඳහන් වු පරිදි ,ආනයනික කිරිදෙනුන් BVD රෝගය ඇති කරන වෛරසය මගින් ආසාදිත යැයි අදාළ ප්‍රතිදේහ පරීක්ෂා කිරීම මඟින් තහවුරු කර ඇති බව සඳහන් වී තිබුණි. එහෙත්, එන්නත්කරණ ක්‍රියාවලියේදී රුධිරයේ ප්‍රතිදේහ සෑදීම සිදුවන බැවින්, අදාළ ප්‍රතිදේහ පරීක්ෂා කිරීමෙන් BVD රෝගය පවතින බව තහවුරු කළ නොහැකියි.ඔස්ට්‍රේලියාවේ BVD රෝගය සඳහා එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වේ යැයි එම නිවේදනයේ දැක්වේ.
එමෙන්ම පශු පර්යේෂණ ආයතනය 2018/03/20 දින නිකුත් කළ පර්යේෂණ වාර්තාව මගින් fascioliasisනම් රෝගී තත්ත්වය ඇති කරන facsiola hepatica නම් පරපෝෂිතයා එම ආනයනික සතුන් තුළ නොමැති බව තහවුරු කර ඇති අතර, ආනයනික සියළුම සතුන්ට එම රෝගය මර්දනයට අදාළ ප්‍රතිකාර ඕස්ට්‍රේලියාවේදී සිදු කර ඇති බව සෞඛ්‍ය සහතිකය මඟින් තහවුරු කර ඇතැයිද මෙම ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටී.