ආනන්දි සසිදරන් කැරැලි ගහයි


 

ජිනීවා මානව හිමිකම් කමිටුවේ සභාවාරයට තමන්ට සහභාගි වීමට දෙමළ ජාතික සන්ධානය අවසර ලබා නොදෙන්නේ නම් තමන් උතුරු පළාත් සභා මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගන්නා බවට උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීනී ආනන්දි සසිදරන් මහත්මිය යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් පැවත්විය යුතු බව පවසමින් කිලිනොච්චියේ සිට යාපනය දක්වා ආරම්භ කොට ඇති පාගමන අතරතුර මාධ්‍ය  සමඟ පැවසුවාය.

ජනීවා සමුළුවට තමන්ට පෞද්ගලිකව සහභාගි වීමට අවශ්‍ය තරම් ඉඩකඩ ඇතත් එසේ සහභාගි වීමෙන් ලැබෙන ප්‍රයෝජන අඩු බැවින් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතවරියක් වශයෙන් මෙම සමුළුවට සහභාගි වීමට අවශ්‍ය බව ඇය කියයි.

දෙමළ ජාතික සන්ධානය රජයට සහාය දැක්වීමට ඉදිරිපත් වී සිටීම නිසා තමන්ට ජිනීවා මානව හිමිකම් සම්මේලනයට සහභාගි වීමට අවස්ථාවක් ලබා නොදෙන බව තමන්ට විශ්වාස බව ප්‍රකාශ කරන ඇය මන්ත්‍රීවරිය මෙවැනි දේශපාලන වාසි හා අරමුණු මත දෙමළ වැසියන්ගේ ප්‍රශ්න වළලා දැමීමට දෙමළ ජාතික සන්ධානය විසින් ගෙනයන වැඩ පිළිවෙල තමන් කිසිසේත්ම අනුමත නොකරන බවද කීවාය.

යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර් ජාතික මට්ටමේ පරීක්ෂණයක් සමස්ත දෙමළ ජනතාවම ඉල්ලා සිටියදී දෙමළ ජාතික සන්ධානය රජය මගින් ඉදිරිපත් කරණ අභ්‍යන්තර පරීක්ෂණයකට කැමැත්ත පළ කිරීම දෙමළ ජනතාවම පාවාදීමක් ලෙසින් එයට විරෝධය පා තමන් උතුරු පළාත්සභා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමටද පියවර ගන්නා බවට ආනන්දි සසිධරන් මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.