(නිමන්ති රණසිංහ)
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් සුදුසු ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර අද(17) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ අපේක්ෂිත ඇප අයදුමක් ඉදිරිපත් කළේය.
මෙම ඇප අයදුම්පත යොමු කරමින් ඔහු සඳහන් කරනුයේ මෙම සිද්ධියට අදාළව ද්වේශ සහගත කරුණු දක්වා පොදු දේපළ පනත , පටක බද්ධ කිරීමේ පනත හා දණ්ඩ නීති සංග්‍රහයේ 198 වගන්ති ප්‍රකාරව තමා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සූදානමක් ඇති බවත් එසේ වුවහොත් අසනීප තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන තමන් සුදුසු ඇපයක් මත මුදා හරින ලෙසත්ය.
වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබූ අතර එම කරුණු සැලකූ අධිකරණය ලබන 20වැනිදා තෙක් නඩුව කල් තැබීය.

