දැයක් පුබුදු කළ මහා ප්‍රඥාවන්තයින්ට ජාත භූමිය වූ දකුණු සිරිලක ගාලු පුරවරයෙහි බද්දේගම නම් වූ රමණීය ගම්පියසට යාබදව එක්දහස් නවසිය විසිඅට (1928) වසරෙහි දෙසැම්බර් මස විසිඅට වැනි දින ජනිත වූ පෙරකළ මහ පිනැති මොහු නමින් ආනන්ද වැයිහේන පල්ලියගුරුගේ නම් වීය.
තැපැල් ස්ථානාධිපතිවරයෙකු වූ තම පියතුමන්ට ස්ථාන මාරුවක් සඳහා මහනුවරට යාමට සිදු වූයෙන් කටුකැලේ බාලක විදුහලෙන් හා අම්පිටිය ඉංග්‍රීසි විදුහලෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රාථමික අධ්‍යාපනයත්, උසස් ද්වීතියික අධ්‍යාපනය මහ නුවර ධර්මරාජ විදුහලෙන් ලබාගත් ආනන්ද ගුරුගේ ශිෂ්‍යයා ඒ සෑම තන්හිදීම විශ්මයාවහ ස්මෘති ඥානයක් හා වාර්තාගත ප්‍රතිඵලයන් ප්‍රකට කිරීමට සමත්විය. ලක්දිව පළමු ප්‍රාචීන පඬිවරයා වශයෙන් හා මහා ප්‍රාඥයකු වශයෙන් ප්‍රාචීන හා ප්‍රතිචීන භාෂාන්තර ඥානයෙන් මෙන්ම සමයාන්තර ඥානයෙන් ද සුගෝපිත පණ්ඩිත ශිරෝමණී පරම පූජ්‍ය විදුරුපොල සිරි පියතිස්ස උඩරට අමරපුර නිකායේ මහානායක ස්වාමිපාදයන් වහන්සේ හා ආනන්ද ගුරුගේ ශිෂ්‍යවරයාගේ පියතුමන් අතර අත්‍යන්ත කුලුපගකමක් තිබිණ. මේ අතරතුර තම පියතුමන් සමඟ මහ නා හිමියන් මුණගැසීමට යන මෙකුමරුන් පිළිබඳ අනාගතයෙහි ලොවක් ජයගන්නා වූ මහපඬිවරයෙකු වනබව ඉවෙන් මෙන් ඉසි නැණින් හඳුනාගත් මහනාහිමියෝ අත්පස හි`දුවාගෙන උගතමනා සද සතර හැමෙකක්ම නිර්ලෝභීව උගන්වාලූහ.
මව්බස හා ඉංග්‍රීසිය මෙන්ම පාලි සංස්කෘත හා ප්‍රාකෘත වැනි ප්‍රාචීන භාෂා පිළිබ`දව ද ප්‍රාමාණික දැනීමක් ලබා සිටියදී එකල ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ මෙතුමා සරසවි ප්‍රවේශයේදීම ප්‍රාචීන භාෂා අධ්‍යයනය පිළිබඳ ජාතික ශිෂ්‍යත්වයක් ද දිනාසිටියේය. එක්දහස් නවසිය පනහ වර්ෂයේදී සංස්කෘත භාෂාව පිළිබඳ විශේෂවේදී උපාධිය ප්‍රථම පන්තියේ සාමාර්ථ්‍යයක් සම`ග දිනාගැනීමට සමත් වූ හෙතෙම භද්‍ර යෞවන වියේදීම (1953) ද සොසයිට් ඔෆ් රාමායනය (රාමායනයේ සමාජය) නම් වූ පර්යේෂණ නිබන්ධනය ඉදිරිපත් කරමින් දැනට ලක්දිව සුජීවත්ව වසන ලාබාලමතම ආචාර්ය උපාධිධරයා වීමේ භාග්‍යය උදාකරගත්තේය. ඒ වන විට යන්තම් සූවිසිවස් සපිරූ හෙතෙම යාපනයේ දිසාපතිවරයා වශයෙන් ද කටයුතුකොට වසරක් ඉක්මගොස් තිබිණි. මහවියතෙකු ලෙසින් චිරප්‍රසිද්ධියට පත් හේ උසස් පරිපාලන නිලධරයෙකු වශයෙන් ද මෙතරම් ප්‍රශංසාවට ලක්වූ අන්කිසිවකු පිළිබ`ද අප අසා නැත. දෙදහස් පන්සිය සම්බුද්ධත්ව ජයන්ති මහ උළෙලෙහි සම්බන්ධීකාරක වශයෙන් ප්‍රධාන චරිතයක් ඉසිලූ හෙතෙම එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාගේ සහය ලෙකම්වරයා වශයෙන් ද කටයුතු කළ අතර, දිවංගත අගමැතිවරයාගේ ආදාහන උළෙලේ සිංහල ඉංග්‍රීසි දෙබසින් සිදුකළ විස්තර ප්‍රචාරණයේ ප්‍රමුඛයා වශයෙන් ක්‍රියා කළ ආකාරය බොහෝ අයට අදමෙන් මතකයේ රැඳී පවතී.
අධ්‍යාපන අමාත්‍යංශය සංසකෘතික අමාත්‍යංශය හා නිවාස අමාත්‍යංශය ආදී අමාත්‍යංශ ගණනාවක ජ්‍යෙෂ්ඨ ලේකම්වරයෙකු වශයෙන් දාහතරවර්ෂයක් පුරා සිදුකළ අතිවිශිෂ්ට පරිපාලන සේවයෙන් 1965 වර්ෂයේදී සතිස්වියේදී විශ්‍රාමලත් ආචාර්ය ගුරුගේ ශූරින්ගේ කැපීපෙනෙන සේවාව දිස්වනුයේ පණ්ඩිත ශිරෝමණී වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන් සමඟ විද්‍යෝදය විශ්වවිද්‍යාලය සමාරම්භයේ සිට උන්වහන්සේට ලබාදුන් යෝධ ශක්තියයි. එහි ප්‍රථම ලේඛකාධිකාරවරයා වශයෙන් කටයුතු කළ අතරතුර භාණ්ඩාගාරික ධුරයේ ද කටයුතු නො පිරිහෙලා ඉටුකිරීමෙන් සෝරත නාහිමියනට පමණක් දෙවැන්නා වූ බව බොහෝ අය දනිති. ඉතාම අවංක වූ ද අතිශූර වූ ද බුද්ධිමත් පරිපාලන නිලධරයෙකු වශයෙන් ක්‍රියාකළ ආනන්ද ගුරුගේ මැතිඳුන් පිළිබඳ සෝරත නාහිමියන් තුළ පැවති විශ්වාසය හා ආදරය අපමණය. අද ලංකාවට මෙන්ම ලෝකයට අත්‍යුදාර ශාස්ත්‍රී සේවයක් සිදුකරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ගොඩනැංවීමේ පුරෝගාමී මෙහෙවරෙහි පතාක යෝධයකුවීමේ ගෞරවය ආචාර්ය ගුරුගේ ශ්‍රීමතාණන්ට නිතැතින්ම හිමි වේ.
ආශ්චර්යවත් දෛවෝපගත සිදුවීම
ආචාර්ය ගුරුගේ ගේ නිර්මාණාත්මක කුසලතා පිළිබඳ විශ්වාසය තැබූ දේශපාලන ප්‍රභූවරුන් අතර මුල්තැන හිමිවනුයේ රුහුණේ ආදර්ශමත් දේශපාල චරිතය වූ දිවංගත ඩී. ඒ. රාජපක්ෂ ශ්‍රී මතාණන්ටය. එතුමා සමඟ පැවති කුලුපග මිතුදම කෙළවර වූයේ වත්මන් ජනපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් විදුදය සරසවියේ සේවය සඳහා තෝරාපත්කරගැනීමෙන් අනතුරුවයි. ශ්‍රීමත් ජනපතිතුමන්ගේ දිවියෙහි පළමු රැකියාව මෙය වූ අතර එතුමන්ගේ ගමන්මග ඇරැඹෙන්නේ ගුරුගේ ශූරීන් ලබාදුන් මෙකී මංගල සම්මත වූ වෘත්තියෙන් අනතුරුවයි. ශ්‍රීමත් ජනපතිතුමන්ට ඒ පිළිබඳ ගුරුගේ ශූරීන් උදෙසා තිඛෙනුයේ පියසෙනෙහසට නොදෙවෙනි ආදරයක් හා ගෞරවයකි. මේ වූ කලී හුදෙක් අහඹු සිදුවීමක් පමණක් නොව සුදුර්ලභ වූ දෛවෝපගත සංසිද්ධියකි.
විදෙස්සේවා
මෙතරම් ගරු තනතුරු දැරූ යුග පුරුෂයකු පිළිබඳ අප කිසිදිනෙක අසා නැත. එතුමන් නිසාවෙන් ඒ සෑම තනතුරක්ම බැබලුණා මිස තනතුරු නිසාවෙන් එතුමා බැබලුණේ නැත. එක් පුද්ගලකු විසින් මේසා විශාල තනතුරු රැසක් දරන ලද්දේ කෙසේදැයි විමතියකි. ඇමරිකා එක්සත් ජනපදයේ මෙන්ම ප්‍රංශයේ ද කිහිපවිටක් තානාපති ධුරය හෙබවූ හෙතෙම යුනෙස්කෝ සංවිධානයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ නිත්‍ය සාමාජිකයෙකු වශයෙන් හා ජ්‍යෙෂ්ඨ විශේෂ උපදේශකවරයෙකු වශයෙන් පුරා වසර දාහතක් සේවය කරමින් මවුබිමට මහත් වූ කීර්තියක් අත්පත්කර දීමට සමත්විය. එම දාහත් වර්ෂයෙන් අවසන් වර්ෂ හත ‘යුනිසෙෆ්‘ ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් ද විශිෂ්ට සේවාවක නියුතු වූ එතුමා වරෙක යුනෙස්කෝ සංවිධානයේ විධායක සභාවේ සාමාජිකයෙකු වශයෙන් හා මූල්‍ය හා පරිපාලන කොමිසමේ සභාපතිවරයා වශයෙන් ද තම සේවාදායකත්වය ලබාදී ඇත. ලෝක උරුමයන් පිළිබඳ මණ්ඩලයේ උපසභාපති ධුරයෙන් ද වරෙක පිදුම් ලැබූ ආචාර්ය ගුරුගේ සමහර රටවල්වල ලංකාව හඳුන්වන සංකේත සංඥා නාමය බවට ද පත්වී සිටීම ලක්වැසි සත්පුරුෂ සැමගේ අමන්දානන්දයට හේතුවන බව නො පැකිළ කිව යුතුය.
ආරාධිත මහාචාර්යවරයෙකු වශයෙන් ජාත්‍යන්තර විශ්වවිද්‍යාල රාශියක පර්යේෂණ කටයුතුවලට සෘජුවම දායකත්වය සපයන අචාර්ය ගුරුගේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්, කැලිෆෝනියා ආදී ප්‍රාන්ත ගණනාවකම සරසවිවල බෞද්ධ අධ්‍යයනය පිළිබඳ අතිදක්ෂ ආචාර්යවරයෙකු වශයෙන් අභිමාණවත් කීර්තියක් ලබාගෙන ඇත. ෆුල්ටන්හි කැලිෆෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයේ බුදුසමය හින්දු සමය හා සාමය අධ්‍යයනය පිළිබඳ මහාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කළ හෙතෙම ලොස් ඇන්ජලීස් හි 1976 යුනිවර්සිටි ඔෆ් ද වෙස්ට් ආගම් අධ්‍යයනය පිළිබඳ ප්‍රථම අධ්‍යක්ෂකවරයා වශයෙන් හා අධ්‍යයන කටයුතු පිළිබඳ පීඨාධිපතිවරයා වශයෙන් ද 2007 වර්ෂය දක්වා සිදුකළාවූ උත්කෘෂ්ට සේවාව අපි මැනවින් දනිමු. යූ වෙස්ට් සරසවිය ආරම්භයේ සිට පුරෝගාමී මෙහෙවරක යෙදුණු හෙතෙම බෞද්ධ අධ්‍යයනය පිළිබඳ මහාචාර්වරයෙකු වශයෙන් අද දක්වා ද අඛණ්ඩ සේවාවක නියැලී සිටී. ශ්‍රී ලාංකික විද්‍යාර්ථීන් රාශියකට පියෙකු සේ අතහිත දෙමින් බෝසත් චරිතයක ප්‍රතිරූපය ජීවමාන කරන ආචාර්ය ගුරුගේ මැතිඳුන් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මහා සත්පුරුෂයාණ කෙනෙකි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කරන ලෝක බෞද්ධ එකමුතු සංවිධානයේ උපසභාපතිවරයා වශයෙන් හා ලෝක බෞද්ධ විශ්වවිද්‍යාල කවුන්සිලයේ සභාපතිවරයා වශයෙන් ආදී ලෝකයේ බෞද්ධයින් නියෝජනය කෙරෙන ප්‍රබලතම සංවිධාන බොහොමයකම මෙතුමන්ට හිමිවූයේ මුල්පුටුවයි. ඉහත සනිටුහන් කෙළේ ආචාර්ය ගුරුගේ යුග පුරුෂයාණන් නියෝජනය කෙරෙන සංවිධානවිලින් හොබවන ගරුතනතුරුවලින් සියගණනක් අතුරින් කිහිපයක් පමණි.
මෙහිලා මාගේ මතකයට එන වැදගත් කරුණක් නම් අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත අතිගෞරවාර්හ මඩිහේ සිරි පඤ්ඤාසිහ මහානාහිමියන් වරෙක ආචාර්ය ගුරුගේ ශූරීන් පිළිබඳ කළාවූ ප්‍රකාශයයි. එනම් ‘ආනන්ද ගුරුගේ මහත්මා යනු මහාචාර්ය ගුණපාල මලලසේකර මහත්මාගෙන් පසු ජාත්‍යන්තරය තුළ ලංකාව නියෝජනය කරන බුද්ධිමත් ගිහි බෞද්ධයින්ගෙන් මුල්තැන ගන්නාවූ ගුණනැණ දෙකෙන් පරිපූර්ණ උගතෙකු ය යන්නයි‘ ගුරුගේ ශූරීන් ගැන තතු දන්නා කිසිවෙකුත් මහ නා හිමියන්ගේ අදහසට උරන නොවනු ඇත.
ශාස්ත්‍රීය ග්‍රන්ථ සම්පාදනය
ගුරුගේ ශූරීන් විශ්මිත යුග පුරුෂයෙකු යැයි අප කීවේ නිකමට නො වේ. ‘ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත‘ යන්න එතරම් අර්ථපූර්ණ ප්‍රකාශයක් නො වන බව හැඟෙනුයේ ගුරුගේ ශූරීන්ගේ දස්කම් විස්කම් දෙස නෙත් සිත් යොමන විටයි. හේ පූර්ව කෘත කුසලබල මහිමය උරුමකොටගෙනම උපන් අජානේය පුරුෂයකු බව හැඟෙනුයේ මහා ගත්කරුවෙකු ද ඔහුතුළ සැඟවී සිටින බැවිනි. මහා පුරුෂයකු වීමට අවැසි අංශ ගණනාවකින්ම ප්‍රාමාණිකයකු වූ හෙතෙම මේ වන විට මහගත් පනස්පහක් පමණ ලියා පළකොට අවසන්ය. ඉන් බොහොමයක් ග්‍රන්ථ පිටු දහස අතික්‍රමණය කොට ඇත.
බෞද්ධ කලාශිල්ප පිළිබඳ අද ලෝකයේ විශිෂ්ඨතම ඥානය ඔහු සතුව තිබේ. ‘දඹදිව බෞද්ධ කලාව නම් වූ මහනීය ගත තුළින් සිංහල පාඨකයා අතර අද්විතීය නමක් හිමිකරගත් හෙතෙම මහාවංශ නූතන පරිවර්තනය, ධර්මපාල ලිපි එකතුව, අශෝක, මා වැනි බිළින්දා (පද්‍ය),‘ ආදී ග්‍රන්ථ රාශියක්ම පාඨකයා අතර ඉතා ජනප්‍රියත්වයට පත්ව තිබේ. ඉංගී්‍රසියෙන් ලියා පළකෙරෙණු නවකථා කිහිපයක් ඇතුලු පර්යේෂණ ග්‍රන්ථ කිහිපයකට ද රාජ්‍ය සම්මාන හිමිකරගත් හෙතෙම දෙස්විදෙස් පර්යේෂණ ශාස්ත්‍රීය සංග්‍රහ ගණනාවකටම ලියාපළකොට ඇති ලේඛන සංඛ්‍යාව සිය ගණනකි. මේ සෑම ලේඛනයක් තුළම එතුමන්ගේ බහුශ්‍රැත භාවය මෙන්ම ප්‍රඥා පාටවය මැනවින් විදහා පායි.
මෙකී අසාමාන්‍ය, අද්විතීය, අනුපමේය සාමාජික, ශාස්ත්‍රීය හා ආගමික සේවාවක නියැලෙන ආචාර්ය ආනන්ද ඩබ්ලිව්. පී. ගුරුගේ වියතාණන්ට කෘතවේදිත්වය හා උපහාර පළකරනුවස් ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් හා රුහුණු සරසවියෙන් සාහිත්‍යශූරී ගෞරව උපාධි දෙකක් හා කලාකීර්ති, දේශමාන්‍ය, විශ්වකීර්තිධර, සාහිත්‍ය චක්‍රවර්තී ආදී ගෞරව නාම සම්මුති රාශියකින් ද පිදුම් ලබා ඇති ආචාර්යආනන්ද ගුරුගෙ ශ්‍රී මතානන් නිරතුරු අප සමඟ පවසා ඇති අභිමානවත් උදානයක් නම් මම මගේ මාතෘ භූමියට ණය නැති නිරාමිස සතුට භුක්ති විඳමින් සිටිමි යන්නයි.
එතුමාට නිවන් සුව අත්වේවා !
ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය මාකොළ මංගල හිමි
රුහුණු විශ්ව විද්‍යාලය

