ගාල්ල මහින්ද විද්‍යාල ආදී ශිෂ්‍යයකු මෙන්ම, මෙරට ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන නානායක්කාර අර්ත් මුවර්ස් ඉඳිකිරීම් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ වරලත් ඉන්ජිනේරු රාජා නානායක්කාර මහතා තම මව්පියන් සිහිකර තමාට ශිල්ප ලබාදුන් විදුහලට රු. ලක්‍ෂ 130 ක් වැය කරමින් තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා පසුගියදා මුල්ගල තැබීය.
මෙම ගොඩනැගිල්ල පරිගණක විද්‍යාගාරයක් හා භාෂා පර්යේෂණාගාරයක් පංති කාමර රැසක් ඇතුළු නවීනතම පහසුකම් වලින් සමන්විතය. ඉදිකිරීම මාස කිහිපයකින් නිම කිරීමට අපේක්‍ෂා කෙරේ.
මෑත ඉතිහාසයේ මෙරට පාසලක ආදි සිසුවකු තනිවම තම පාසලට මෙවැනි දැවැන්ත පරිත්‍යාගයක් කළ පළමු අවස්ථාව ලෙසද මෙය සැලකේ. මහින්ද විද්‍යාලයීය ‘බ‍්‍රාස් - බෑන්ඩ්‘ කණ්ඩායම පෙරටු කරගෙන මහින්ද ආදි සිසුන්ගේ ගෞරව හා වත්මන් සිසුන්ගේ ඔල්වරසන් මැදින් පැමිණි රාජා නානායක්කාර මහතා සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව ගොඩනැගිල්ලට මුල් ගල තැබීය.
අනතුරුව ඕල්කට් ශ‍්‍රවණාගාරයේ පැවැති උත්සව සභාව ඇමතූ නානායක්කාර මහතා මෙසේ කීහ. අද මා යම් තැනක සිටිනවා නම් එහි පූර්ණ ගෞරවය මා බිහිකළ මව්පියන්ට හා මට අධ්‍යාපනය, විනය හා නිසි මඟ කියා දුන් මහින්ද විදුහල් මෑණියන් සතුයි. මෙරට නිදහස් සටනට උරදුන් සටන් මධ්‍යස්ථානයක් හා අපේ ජාතික ගීය බිහිකළ මහින්දයේ අධ්‍යාපනය ලැබීම ජීවිතයේ මා ලද ලොකුම භාග්‍යයයි. මහින්දය බිහිකළ සදාතනික උගතුන්, කලාකරුවන්, ව්‍යාපාරිකයන්, ක‍්‍රීඩකයන් ඇතුළු පිරිස රටට කළ මෙහෙවර ආදර්ශයක් කරගෙන මේ සත්කාරය මගේ විදුහලට කරන්න මම තීන්දු කළා.
මහින්ද විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය, ආදි සිසුන්, ආදි ශිෂ්‍ය සංගම් සම ලේකම්වරුන් වූ ලලිත් කාරියවසම්, ඇල්ටන් විතානගේ හා හිටපු ලේකම් බන්ධුල නානායක්කාර මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.



