ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගෙන් විමල්ට විරෝධය


(අජන්ත කුමාර අගලකඩ)
 
ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (09) උදේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසකගේ දැඩි විරෝධයක් එල්ල වූ බව වාර්තා වේ.

වීරවංශ මහතා ආණ්ඩු පක්ෂ රැස්වීමට අද (09) සහභාගී වී නැති නමුත් ඔහු සති අන්ත පුවත්පතකට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් ඔහුට මෙසේ දැඩි විරෝධය පළකර ඇතැයි දැනගන්නට තිබේ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 01දී අද (09) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ මැති ඇමැතිවරුන් පිරිසක් වීරවංශ මහතාගේ නම සඳහන් කරමින් විරෝධය පළකර ඇත. 
රාජ්‍ය ඇමැති නිමල් ලංසා මහතා නැගී සිටිමින් වීරවංශ මහතා ගැන සඳහන් කරමින් මුලින්ම විරෝධය පළකර ඇති අතර ඔහු මීගමුව උසාවියේ ඇති නඩුවකට ගොස් ඇති බැවින් ගොස් ඇති බැවින් ආණ්ඩු පක්ෂ රැස්වීමට සහභාගී නොවූ බව උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර ඇත.

එසේ වුවද වීරවංශ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය සම්බන්ධයෙන් කළැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය මැති ඇමැතිවරුන් නැගී සිටිමින් දැඩි විරෝධය පළකර ඇත.

එහිදී නැගී සිටි ඇමැති වාසුදේව නානායක්කාර මහතා විමල් වීරවංශ ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටිමින් රැස්වීමේ නැති අයෙකු සම්බන්ධයෙන් කතා නොකරන්නැයි ඉල්ලා ඇත.

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් වාසුදේව ඇමැතිවරයාට ද දැඩි විරෝධය පළකරමින් සහ දෝෂ දර්ශනයට ලක්කළ බව වාර්තා වේ.

වාසුදේව නානායක්කාර මහතා විරෝධය නොතකා අදහස් දක්වද්දී ඇතැම් මන්ත්‍රීවරුන් ඔහුට බැණවදින්නට වූ බවද වාර්තා වේ. 
අනතුරුව අගමැතිවරයා මැදිහත් වී සභාව පාලනය කර ඇති බවද වාර්තා විය.

මේ අතර අදහස් දක්වා ඇති ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ද වීරවංශ මහතාගේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක්කළ බව වාර්තා වේ.

වීරවංශ මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් කැඳවන ලෙසද මැති ඇමැතිවරුන් පිරිසක් එහිදී ඉල්ලා ඇත.

පොදුජන පෙරමුණේ නායකත්වයෙන් එහි තනතුරු සම්බන්ධයෙන් අදහස් දැක්වීමට විමල් වීරවංශ ඇමැතිවරයාට කිසිඳු සදාචාරාත්මක අයිතියක් නැතැයි ද, ඒ සම්බන්ධයෙන් ඔහු සමාව ගත යුතු යැයිද මැති ඇමැතිවරුන් ප්‍රකාශ කර ඇත.