(විනීතා එම් ගමගේ)
ආණ්ඩුවට අවුරුදු තුනක් පිරෙන අගෝස්තු 17 වැනිදා කොළඹට ඇතුළුවන සියලු මාර්ග අවහිර කර දැවැන්ත විරෝධතාවක යෙදෙන්නට අසාධාරණයට ලක්වූ ජනතාව සමඟ සැබෑ විපක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ආණඩුව ගෙදර යන තුරු එකී විරෝධතා රැල්ල අවසන් නොකරන බව ද මන්ත්‍රීවරයා කීය.
නාමල් රාජපක්ෂ මහතා මේ අදහස් පළකළේ බත්තරමුල්ල නෙළුම් පෙදෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයේ දී අද (13) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.
‘‘අගෝස්තු මාසෙ 17 වැනිදා කියන්නේ මේ ආණ්ඩුව පිහිටුවලා අවුරුදු තුනක් වෙන දවස. එදාට මේ රටේ ප්‍රගතිශීලී ජනතාව සියලු දෙනා එකතුවෙලා කොළඹට ඇවිත් මේ ආණ්ඩුවට විරෝධය පළ කරන්න සුදානම්.
මේ රටේ ජනතාවගේ සහනාධාර සියල්ල කපා හැරලා. එක පැත්තකින් පොහොර සහනාධාරය කැපුවා. අනෙක් පැත්තෙන් ධීවර සහනාධාර කැපුවා. ජීවන වියදම එන්න එන්නම වැඩිවෙමින් පවතිනවා. ආර්ථිකය කඩා වැටිලා. මේ වෙනකොට රට පුරා පාතාලය හිස ඔසවලා. තැන තැන මිනිමැරුම් මංකොල්ල කෑම් මිනිමැරුම්. රටේ ඒකීයත්වයට බරපතල තර්ජන එල්ල වෙලා තියෙනවා.
රටේ රාජ්‍ය නායකයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයා , අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ගැන කිසි අවධානයක් නැහැ. දන්නෙත් නැහැ. මේ කිසිම පියවරක් ගන්නෙත් නැහැ.
රට දේශපාලනික ආර්ථික වශයෙන් අස්ථාවර තත්ත්වයක් අරන්. රට අරාජික වෙලා.
ආණ්ඩුව පත්වෙලා අවුරුදු තුනයි. ආණ්ඩුව පත්වෙන කොට දුන් පොරොන්දු එකකවත් ඉෂ්ට කරන්නේ නැතිව රටේ ජනතාවගේ බඩට ගහන්න, ජනතාවගෙන් පලි ගන්න කටයුතු කරනවා. ආර්ථික වශයෙන් කෘෂිකර්මය කඩා වැටෙන්න කටයුතු කරල තියෙනවා. කුරුඳු ගොවියාට , ගම්මිරිස් ගොවියා, වී ගොවියා හේන් ගොවියා , ධීවරයා මේ හැම දෙනාටම යන එන මං නැහැ. රුපියල එන්න එන්න කඩා වැටෙනවා. රට ආර්ථිකය අස්ථාවර වෙලා. දේශපාලනික වශයෙන් අස්ථාවර වෙලා.
මේ සියල්ලට එරෙහිව ආණ්ඩුවේ ක්‍රියා කලාප නිසා ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා අසාධාරණයට ලක්වූ සියලු දෙනාත් එක්කරගෙන සැබෑ විපක්ෂයේ කණ්ඩායම් සියලු දෙනා එක්කරගෙන ජන බලය කොළඹට ගේන්න අපි සංවිධානය කරල තියෙනවා.
අපි ආරාධනා කරනවා මේ රටේ අසාධාරණයට ලක්වූ සියලු ජනතාවට මේ විරෝධතාවයට එක්වෙන්න කියලා. රාජ්‍ය දේපල විකුණගෙන කනවා. පටන් ගත්තේ හම්බන්තොට වරායෙන්. මත්තලත් විකුණන්න යනවා. රාජ්‍ය ආයතන හතරක් විකුණන්න කැබිනට් අනුමැතියට දාල කියල ආරංචියි. සෞඛ්‍ය ,තැපැල්, අධ්‍යාපන, දුම්රිය යන ආයතන විකුණන්න හදන්නේ.
මේ සියල් නිසා රටේ ඇතිවෙලා තියෙන අස්ථාවරත්වය නිසා අසාධාරණයට ලක්වූ ජනතාවට ආරාධනා කරන්නේ ආණ්ඩුව පළවා හරින්න එකතුවෙන්න කියලයි.‘‘ යැයි ද මන්ත්‍රීවරයා පැවැසීය.