ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට ලක්ෂ 2ක දීමනාවක් - රෝහිත අබේගුණවර්ධන


නාලක සංජීව දහනායක
 
ජනාධිපතිවරයා විසින් මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිවීම නතර කරනු ලැබුවද ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් රුපියල් ලක්‍ෂ දෙකක දීමනාවක් ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී  රෝහිත අබේගුණවර්ධන මහතා අද (6) පැවසීය.

 
ජනාධිපතිවරයා  ඒ පිළිබඳව දැනුම්වත් වී නොමැති නම් පාර්ලිමේන්තු බැංකු ශාඛාවෙන් එම දීමනාව ලබන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිළිබඳ  විස්තර ලබාගැනීමට හැකි බවද මන්ත‍්‍රීවරයා කීය.
 
මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
 
‘‘පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳව පසුගියදා විශාල කතාහක් ඇති වුණා. වැටුප් වැඩිකරන්න කියලා අපි ඉල්ලූවෙත් නැහැ. පාර්ලිමේන්තුවේ සියලූම මන්ත‍්‍රීවරුන්ට එකහා සමානව සැළකීම ආණ්ඩුවේ යුතුකමක්. නමුත් මේ ආණ්ඩුව එහෙම නැහැ.

 

අණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පමණක් මාසිකව රුපියල් ලක්‍ෂ දෙකක දීමනාවක් ලැබෙනවා. ජනාධිපතිවරයා මේ පිළිබඳව දැනුවත් නැත්නම් පාර්ලිමේන්තු බැංකු ශාඛාවෙන් මෙම මන්ත‍්‍රීවරුන් පිළිබඳ  සියලූම විස්තර ලබාගන්න පුළුවන්. මීට කලිනුත් රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන විට ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට මාසිකව රුපියල් ලක්‍ෂ පහක දීමනාවක් ලබාදුන්නා.‘ යැයි ද පැවසීය.
 
බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (6)  පැවැති  මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.