( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
ආණමඩුව විවිධ සේවා සමුපකාර ජන්දයෙන් තේරි පත්වු නියෝජිතයින් පිරිසෙන් අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා පත්කර ගැනීමට අද (18) කැඳවා තිබු රැස්වීමට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ආධාරකරුවන් පිරිසක් බාධා කරමින් කලහකාරි ලෙස හැසිරීම හේතුවෙන් දෙපාර්ශවය අතර ඇතිවීමට ගිය ගැටුම පොලිස් නිලධාරින් මැදිහත්වීමෙන් වැළකී ගියේය.
ආණමඩුව විවිධ සේවා සමුපකාරයට සභිකයින් තෝරා පත් කර ගැනිම පසුගිය මාර්තු 30 වැනි දා පැවති අතර එහිදි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ කන්ඩායමට සභිකයින් 18 දෙනකුද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සභිකයින් 180 දෙනකුද තෝරා පත් කර ගැනිමට හැකිවිය. එම අවස්ථාවේදිද රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.
එම සභිකයින් අතරින් අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා පත් කර ගැනිමට සමුපකාර ගොඩනැගිල්ලේ ඉහල මාලයේ කටයුතු සංවිධානය සිදුව තිබු අතර උදැසනම රංගේ බංඩාර මහතා සමුපකාර යට පැමිණ තිබු අතර එහිදි සමුපකාර නිළධාරින්ට දොස් නගමින් පිටව ගිය බවද කියයි. පසුව මහ සභාවට පාර්ශව දෙක නියෝජනය කරමින් 91 ක් දෙනෙකු තේරි පත්ව සිටි අතර ඉන් 88 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් වන අතර ඉතිරි තිදෙනා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ද නම් කර තිබුණි.
මෙම පිරිස සමුපකාර ගොඩනැගිල්ල තුළ රැදි සිටියදි රංගේ බංඩාර මහතාගේ ආධාර කරුවන් පිරිස හු කියමින් මාර්ගය ආසන්නයේ රැදි සිටිනු දැක ගත හැකි විණි. ඒ සමගම විටින් විට බිත්තර ප්‍රහාර ද සමුපකාර ගොඩනැගිල්ලට එල්ල විය.
වයඹ පළාත් සමුපකාර කොමසාරිස්වරයාගේ නියෝජිතයා මෙම අධ්‍යක්ෂක මණ්ඩලය තෝරා පත් කර ගැනිමේ අවස්ථාවට පැමිණෙමින් සිටියදි රංගේ බංඩාර මහතාගේ ආධාර කරුවන් ගොඩනැගිල්ලට ඇතුල්වන භුමියේ ගේට්ටුව ඉබි යතුරු දමා වසා දමා ඇත. කොමසාරිස් වරයාගේ නියෝජීතයා ආපසු තම වාහනයෙන් පිටත්වි ගිය අතර ඔහුගේ වාහනයට රැසව සිටි පිරිස් අතින් හා පයින් පහර දුන් බව කියයි.
කෙසේ නමුත් ඒ වන විට සමුපකාර ගොඩනැගිල්ලේ උඩු මහලේ සිටි මහ සභා නියෝජීතයින් කණ්ඩායම සමුපකාර කොමසාරිස්වරයාගේ උපදෙස් දුරකථනයෙන් ලබා ගනිමින් අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර ගෙන තිබේ.
එහිදි සභාපති ලෙස හිටපු සභාපති හේරත් ජයරත්න මහතා නිතරගයෙන් තේරි පත්ව තිබුණි .




