ආණමඩුව ප්‍රා.සභාවේ උණුසුම් තත්ත්වයක්


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය ආරම්භ කර සුළු වේලාවකින් ශබ්ද විකාශන යන්ත්‍ර නොමැති බව පවසමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අතර උණුසුම් තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් අද (27) සභාව කල්  තැබුහ.

මංගල සැසිවාරය සඳහා සියලුම පක්ෂ නියෝජනය කරමින් මන්ත්‍රිවරුන් සියලු දෙනා පැමිණ සිටි අතර සභාපති ප්‍රියන්ත රාජකරුණා මහතා විසින් සියලු දෙනා පිළිගෙන සභාවේ කටයුතු ආරම්භ කළ නමුත් මද වේලාවකින් තමන්ට සභාවේ කිසිදු දෙයක් ඇසෙන්නේ නැති බව පවසමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු චෝදනා කළහ. 

එහිදි පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් අතර ඇතිවු වචන හුවමාරුව නිසා සභාවේ එකම කාලගොට්ටියක් බවට පත්වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ එල්.අනුෂ්ක ප්‍රියශාන්ත මහතා විසින් රාජ්‍ය ඇමැති පාලිත රංගේ බංඩාර මහතාගේ කාර්යාලයේ තිබු  ශබ්ද විකාශණ යන්ත්‍රයක් සභාවට රැගෙන ඒමත් සමඟ සභාව තවත් උණූසුම් විය. 

කිසිදු යෝජනාවක් සම්මත කිරිමක් සිදු නොවු අතර ශබ්දවාහිනි ගැටලුව නිසා ප්‍රථම මංගල සැසිවාරය කල් තැබීමට ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සිදුවිණි. 

සභාව කල් තැබීමත් සමඟ ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන දොරටුව ආසන්නයේ රැදි සිටි පිරිසක් නව සභාපතිවරයාට හු කියමින් රතිඤඤා පත්තුකර විරෝධය පළ කළේය.