ආගම් නාමයෙන් දිවි නසාගන්න ඉගැන්නූ දේශකයා ගැන අධිකරණයට කියයි


(විමුක්ති එස් රුද්‍රිගු)

ආගමික දේශන මගින් දිවි නසා ගැනීමට පෙළඹවීම් කළ බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැති පුද්ගලයා සහ ඔහුගේ ඉගැන්වීම් සම්බන්ධයෙන් ආරම්භ කර ඇති පුළුල් විමර්ශනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(05) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැති පුද්ගලයාට මුදල් ලැබුණු ආකාරය සහ මුදල් වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කොටුව අධිකරණයෙන් අද(05) නියෝගයක්ද නිකුත් කෙරිණ.

දර්ශනවාදී දේශන පැවැත්වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැති පුද්ගලයාට වෙනත් සංවිධානවලින් මුදල් ලැබී ඇත්දැයි සහ ඔහුගේ ක්‍රියා කලාපයට තෙවැනි පාර්ශවයක සම්බන්ධයක් ඇත්දැයි විමර්ශනයේදී සොයා බැලෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

ආගම් සම්බන්ධ දේශකයෙකු ලෙස කටයුතු කළ රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැති පුද්ගලයා කොට්ටාව ප්‍රදේශයේදී වස පානය කර සියදිවි හානිකර ගත් අතර ඔහුගේ බිරිඳ ඇතුළු සය දෙනෙක් පසුව වස පානය කර මිය ගියහ.එලෙස වස පානය කර මියගිය 7 දෙනාගේ සිරුරු කොටස් සහ පානය කළ වස වර්ගයන්හි සාම්පල් අධිකරණය මාර්ගයෙන් රජයේ රස පරීක්ෂකවරයාට යවා වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

රස පරීක්ෂක වාර්තාවට අනුව ඔවුන් සියදිවි හානිකර ගැනීමට ලබා ගෙන ඇති විෂ ද්‍රව්‍ය සයිනයිඩ් ද නැතිනම් වෙනත් වස වර්ගයක්ද යන්න තහවුරු කරගැනීමට හැකිවනු ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී පැවැසුවේය.