ආක්ටික් අමුත්තෝ උඩවලව ‘රෝහලේ‘


වසර ගණනාවකට පසු බුන්දල ජාතික වනෝද්‍යානයට සංග්‍රමණය වූ ඉතා දුර්ලභ ගණයේ විදේශීය සංචාරක පක්ෂීන් දෙදෙනකු පියාසර කිරීමේ දුබලතාවයකට ලක්ව සිටිය දී අල්ලා ගත් වනජීවී නිලධරයෝ ඒ කුරුල්ලන් උඩවලව ඇත් අතුරු සෙවණේ පශු වෛද්‍ය ඒකකයට බාර දුන්හ.

ආක්ටික් ප්‍රදේශවල සිට සංක්‍රමණය වන මෙම පක්ෂීන් ලිහිණි විශේෂයකි. හම්බන්තොට ඩිපෝව ප්‍රදේශයේ දී වනජීවී නිලධාරීන් විසින් මෙම පක්ෂීන් දෙදෙනා සොයා ගෙන තිබේ. සුදු පැහැයට හුරු පියකරු පෙනුමකින් යුත් පක්ෂි විශේෂයකි. ‘රන්තුඩුගිම්වලයා‘ නැමති සිංහල අනුවර්ථ නාමයෙන් ද මෙම පක්ෂි විශේෂය හැඳින්වෙයි.

ආක්ටික්, පැසිපික්, ඉන්දියන් සාගර ආශ්‍රිතව මෙම පක්ෂීන් ජීවත් වන අතර එම ප්‍රදේශවල ආහාර අඩු කාලයට ලංකාව වැනි රටවලට පැමිණ තම ශරීරවලට ආහාර ලබා දී නැවත තම නිජ භූමි වලට පියාස කරති.

මෙම පක්ෂීන් තම නිජ භූමියේ හැර සංචාරයේ යෙදෙන වෙනත් රටවල බිත්තර දැමීම, කූඩු සැදීම, පැටවුන් බෝ කිරීම සිදු වන්නේ නැත.

ශ්‍රී ලංකාවේ සංචාරක පක්ෂීන් වැඩි වශයෙන් සැරිසරණ බුන්දල ජාතික වනෝද්‍යානයට ජලජ පක්ෂීන් විශාල වශයෙන් පැමිණෙන අතර මෙම ළිහිණි විශේෂය පුරා වසර 15ට පමණ පසු මෙවර පැමිණ ඇති බව වනජීවී අඩවි සහකාර ජේ ඒ පී විජය කුමාර මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ බටහිර සහ දකුණු වෙරළ තීරවල මේ දිනවල මෙම පක්ෂීන් සැරිසරණ බව ද ඔහු පෙන්වා දෙයි.

2015-07-13-13-01-25-(1)