අ‘පුර අටමස්ථානය අසළ සතොස මත්පැන් හළ වසා දමයි


(උපාලි ආනන්ද)

අනුරාධපුර ජය ශ‍්‍රි මහ බෝධියට කිලෝ මීටරයක් පමණ දුරින් ජය ශ‍්‍රි මහ බෝධියට හා අටමස්ථානයට ආසන්නයෙන්ම වසර 16ක් අඛණ්ඩව පැවැති අනුරාධපුර මාර්කට් පෙදෙසේ පිහිටි සතොස මත්පැන් අලෙවිසල වහාම ක‍්‍රියාත්මක වන පරිදි වසා දමා ඇත.

සතොස ආයතනයේ සභාපතිවරයාගේ සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මත මෙම මත්පැන් අලෙවිසල වසා දැමීමට තීරණය කෙරිණි.

වත්මන් බුද්ධ ශාසන ඇමැති ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා වෙළඳ අමාත්‍යවරයාව සිටි අවධියේ සිටම අනුරාධපුර  සතොස මත්පැන් අලෙවිසල අනුරාධපුර මාර්කට් පෙදෙසින් ඉවත් කරන ලෙස  ශ‍්‍රි ලංකා පාරමිතා බෝධී ආරක්ෂක සම්මේලනයේ සභාපති අනුරාධපුර බුද්ධගයා මාවත අංක 618/61/ඊ ලිපිනයේ ඉන්ද්‍රජිත් සේනානායක මහතා අමාත්‍යවරයාගෙන් අවස්ථා ගණනාවක් ඉල්ලීම් කළේය. 

ඒ මෙම සතොස මත්පැන් අලෙවිසල ජය ශ‍්‍රී මහ බෝධියටත් අටමස්ථානයටත් ආසන්නයෙන් පිහිටා තිබීම ජය ශ‍්‍රී මහ බෝධියටත් අටමස්ථානයටත් අගෞරවයක් මෙන්ම නුසුදුසු බවත් පවසමිනි.  මෙසේ වසා දැමුණේ අනුරාධපුර ජය ශ‍්‍රී මහ බෝ සමිඳුන්ට මෙන්ම අටමස්ථානයට ආසන්නයෙන්ම පිහිටා තිබූ මාර්කට් පෙදසේ සතොස මත්පැන්  අලෙවිසලයි.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී අනුරාධපුර මාර්කට් පෙදෙස සතොස ආයතනයේ සේවය කරන නිලධාරිනියක කියා සිටියේ අනුරාධපුර සතොස ආයතනය තුළ  විවෘතව පැවැති මෙම මත්පැන් අලෙවිසල  වසා දැමීම ඉතා සුදුසු බවයි.

වසා  දැමුණු මත්පැන් අලෙවිසල  මාසික ආදායම කොපමණ දැයි විමසූ විට ඇය සඳහන් කළේ සෑම මසකම රුපියල් කෝටිය ඉක්ම වන බවයි.

කෙසේ වෙතත් ප‍්‍රමාද වී හෝ අනුරාධපුර සතොස මත්පැන් අලෙවිසල වසා දැමීම කලෝචිත බවද පැවසු ඇය මෙම මත්පැන් අලෙවිසල වසා දමන ලෙසට කලක පටන් විවිධ පාර්ශව වලින් ඉල්ලීම් රැසක් ලැබෙමින් පැවැති බවද පැවසුවාය.

මීට පෙර ඉංග‍්‍රිසි පාලන සමයේ එනම් 1854 වසරේ  අනුරාධපුර මාර්කට් පෙදෙසට ආසන්න දුම්රිය ස්ථානයේ මත්පැන් අලෙවිසලක් පැවැති බවත් එම මත්පැන් අලෙවිසල 1913 වසරේදී ශ‍්‍රිමත් වලිසිංහ හරිහ්චන්ද්‍ර තුමන්ගේ මැදහත්වීමෙන්    වසා දැමූ බව ඉතිහාස තොරතුරු වල  දැක්වෙයි 1913 වසරේ එම මත්පැන් හල වසා දැමුණු පසුව මාර්කටි පෙදෙසේ සතොස ආයතනය තුළ යළි මත්පැන් හලක් විවෘත කලේ 2002 වසරේදීය.  ඒ රවී කරුනායක මහතා වෙළෙද අමාත්‍ය ධූරය දැරූ එක්සත් ජාතික පක්ෂ රජය සමයේය.