අහෝ ! මැණීක් ගඟට ගිය කලක්


කතරගම සිද්ධස්ථාන වලටත් වඩා දිගු ඉතිහාසයක් ඇති සුන්දර මැණික් ගඟ අද විනාශ මුඛයට ලංව පවතී.

ඉන්දියාවේ ශූද්ධ වු ගංගා නම් නදිය මෙන් කතරගම මැණික් නදියද හින්දුන්ගෙත් බෞද්ධයින්ගෙත් ශූද්ධ වු පුජනීය වස්තුවක්වේ.

දෙවියන්  වැඳ පුදා ගැනීමට පෙර මැණික් ගඟට බැස දිය නා පිරිසිදු වෙන බැතිමතුන් විවිධ පුද පුජා තැබීමද අතීතයේ සිටම සිදු කරනුයේ මැණික් ගං ඉවුරේ සිටයි.

අද වන විට මැණික් ගඟ බැතිමතුන්ගේ පුජනීය වස්තුවක් නොව මීනිකන  කිඹුලන්ගේ පාරාදීසයකි. කැළි කසල පිරී ගඳ ගහන ජලතලයකි.

එදා තිබු සුදු වැලි අද දක්නට නොලැබේ. වෙනදා මැණික් ගඟට බැස දිය නෑ බැතිමතුන් අද දක්නට නැත.

කතරගම දෙවියන් වැඳීමට පැමිණි බැතිමතුන්ට අද මැණික් ගඟට බැසීමටවත් කිසිදු ආරාක්‍ෂාකාරි පඩිපෙළක් නොමැති අතර මැණික් ගං ඉවුරු කැඞී යෑම වැළක්වීම පිණිස අංක 01 පාළමේ සිට දෙවියන්ගේ පැන් ගන්නා තොටුපොළ දක්වා තිබු ආරක්‍ෂිත බැමි දක්නට නොලැබේ. සියල්ල කැඞී නටබුන් ලෙස දිස්වේ.

සුනාමියට හසු වු ගොඩනැගිළි කැඩී ගියා මෙන් ගං ඉවුරු ආරක්‍ෂාවීම පිණිස තිබු දැවැන්ත බැමි කැඞී ගොස් ඉවුරු සෝදා පාලූ වු ස්ථාන රැසක් දැකිය හැකිය. නිතර ඔරු පාරු යන අයුරින් ජලයේ එහා මෙහා පිනා යන කිඹුලන් මැණික් ගඟේ දැකීමේ සුලභ දසුන්  බවට පත්ව තිබේ.

මැණික් ගඟට මෙම විපත් සිදුවීම මුලින්ම ආරම්භ වුයේ 2012 වර්ෂයේ දි කතරගම සිට ප‍්‍රබලයකුගේ ආරක්‍ෂකයින් පිරිසක් විසින් මැණික් ගඟ පිරිසිදු කරන විට දී අංක 02 පාළම අසල තිබු හරස් කොන්ක‍්‍රීට් බැම්ම කඩා දැමීමේ ප‍්‍රතිඵලයක් මතයි.  මෙම දැවැන්ත බැම්ම නිසා ගගේ වැලි එකතු වී වළවල් ගොඩ වු අතර බැතිමතුන්ට දිය නැ හැකි පරිදි ගං ඉවුරුද ස්වාභාවිකව සැදි ගිය අතර කිඹුලන් ගැවසෙන වළවල් දැක ගත නොහැකිවිය.

මෙම බැම්ම කඩා දැමිමේන් පසුව ගඟේ ජලය වේගයෙන් පහළ ට ගලා ගෙන යෑම මත ආරක්‍ෂාවට තිබු බැමි කැඞී ගොස් ගං පතුලේ වැලි පහළට ගොස් ගල් මතුවීම සිදුවිය. දැවැන්ත වළවල් සැදීම මත කිඹුලන්ට අවශ්‍ය වළවල් මේ වනවිට සැදී ඇති අතර මෙම හේතු මත මෙවර ඇසළ පෙරහර අවසන් වී සිදු කරන ලබු දිය කැපීමේ මංගල්‍ය ද මෙවර වෙනදා සිදු කළ ස්ථානයට යාමට ජලය ගැඹුර වු හෙයින් වෙනත් ස්ථානයක සිදු කිරීමට කපු මහතුන්ට සිදුවිය.

වෙනදා මැණික් ගඟේ සුදු වැල්ලේ තිබු කාවාඩි මඩු වසර 03 ක් සිට නගරයේ ස්ථානයක සිට පවත්වාගෙන යාමට කවාඩි කර්මාන්තයේ නිරත වන්නන්ට සිදුවිය.

ඌවේ නමුණුකුළ කන්දෙන් ආරම්භ වන මැණික් ගඟ  කිලෝ මිටර් 160 ක් දුර ගෙවා ගොස් මුහුදට වැටී අවසන්වේ.ශුද්ධ වු ජලය ඇති ගංගාවක් ලෙස මැණික් ගඟ සැළකේ. කතරගම දේවාලයේ දෙවියන්ගේ පුජාව සඳහා ද අෂ්ඨ ඵළ බෝධියේ නානමුරය සඳහා ද ජලය ලබා ගන්නා මැණික් ගඟ ඉහත අතීතයේ දී කිසිදු අයකු නිවාස තැනීමක් හෝ දිය නෑමක් සිදු නොකළ බව ජනප‍්‍රවාදයේ සඳහන් වේ. අද වර්ථමානයේ ගඟ උඩ කොටස තුල රෙස්ට් හවුස් පවා සාදවා ඇති අයුරු දැකිය හැකිය.

දේවාලයේ චාරිත‍්‍ර මුල් කර ගනිමින්  මැණික් ගඟටද තොටුපොළවල් නම් කර ඇත. රේදි සෝදන ස්ථානය , දෙවියන්ලේ වී සහල් කොටා දහයියා ටික නොපෑගීම සඳහා මැණික් ගඟට දැමු ස්ථානය යන නම් වලින් සඳහන් වේ.

අතීතයේ දි කප්පකන්දර නදි ලෙසත් කප්පකන්දර ඔයපරානදිය. ලෙසත් මැණික් ගඟ හැඳින් වු අතර මැණික් ගඟ හා සම්බන්ධ ජනප‍්‍රවාද රසකථා රැසක් පවතී.

කතරගම දේවාලය කිරිවෙහෙර අෂ්ඨ ඵළබෝධිය හා සමානව ඓතිහාසිකත්වයෙන් බැතිමතුන්ගේ පිදුම් ලබන උතුම් මැණික් ගං නදිය මුල් කරගෙන කඳ කුමරුවන් හා වල්ලි දේවගනගේ විවාහ මංගල්‍ය සිදු වු බව ජනප‍්‍රවාදයන් හි සඳහන් වේ. කතරගම දෙවියන් හා දුටුගැමුණු රජතුමා මුණ ගැසුණු ස්ථානයද වන්නේ කතරගම මැණික් ගඟ වීම වැනි විශේෂ අවස්ථා රැසක් සිදු වී ඇත්තේ මැණික් ගඟ මුල් කරගෙනයි.

8[1] 9[1] 10[1] 12[1] 13[1] 15[1] 16[1] IMG_1745[1]