අසාද් සාලිගෙ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස් ඉවත් වෙයි


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

තමා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීරණය කරන්නැයි ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ගොනු මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් තමා ඉවත් වන බව විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (10) නිවේදනය කළේය.

මෙම පෙත්සම මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයිරාජා, ඒ එච්. එම් ඩී නවාස් යන මහත්ම මහත්මීන් ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව එම පෙත්සම වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන 27වැනිදා කැඳවීමට දින නියම කෙරිණි.

පෙත්සම කැදවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කියා සිටිටේ පසුගිය මාර්තු මස 09 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ට එරෙහිව කොළඹ මහාධිකරණ හමුවේ පවරා ඇති නඩුවට අදාල අධිචෝදනා වල පිටපත් අධිකරණයට ඉදිරිපත් කරන බවය.

එම පිටපත් මෝසමක් මගින් සතියක් තුළ දී ගොනු කිරීමට ඒ මහතා එකගත්වය පල කලේය.

ඒ අනුව පෙත්සම මෙම මස 27වැනිදා කැඳවීමට නියම කෙරිණ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ වන වැරදි සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කර එම නඩු පැවරීම සිදු කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කලේය.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ම අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම නීති විරෝධී යැයි තීන්දු කොට තමන්ව නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අසාත් සාලි මහතා විසින් සිය නීතිඥවරු මගින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති , පොලිස්පති , රහස් පොලිස් අධ්‍යක්ෂක නිෂාන්ත ද සොයිසා , එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල , මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර , එම අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් යන මහත්වරුන් නම් කරනු ලැබ සිටිති.

එක්සත් සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කළ අතර බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකා පෙත්සම්කාර අසාද් සාලි මහතා පසුගිය මාර්තු 09 වැනි දින ප ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීය.ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවගේ කටයුතු මුස්ලිම් නීතිය අනුව සිදුවිය යුතු බව එහිදී පෙත්සම්කරු අවධානය යොමු කරවීය.මේ පිළිබද මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් පසු විවිධ පුද්ගලයින් මේ පිළිබදව විවිධ අදහස් දැක්වීය.සමහරෙක් පෙත්සම්කරු රටෙහි නොසන්අර්බුදකාරී තත්ත්වයක් ඇති කිරීමට උත්සාහ කරන බවද පෙත්සමේ සදහන් කර ඇත

මේ අතර මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා , පෙත්සම්කරු පිළිබදව ද්වේශ සහගතව ප්‍රකාශ කිහිපයක්ද සිදු කල බව පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටී..

පෙත්සම්කරු කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි වෙළද සංකීර්ණයක සාප්පු සවාරියේ යෙදී සිටියදී රහස් පොලිස් අත්අඩංගුවට පත්විය.පෙත්සම්කරු මෙතෙඅත්අඩංගුවට ගැනීමට කිසිදු හේතුවක් නොමැති අතර ඔහු කිසිදු ආකාරයකින් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධතාවයක් නොමැතිබව ද පෙත්සමෙහි සදහන් වේ .එසේම මාවනැල්ල බුදු පිළිම කඩා බිද දැමීමේ සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොවූ බව පෙත්සමෙහි දැක්වෙයි .

මෙම තත්ත්වය තුළ පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩවු ඇති බව ට තීරණය කරන ලෙස පෙත්සම මගින් ඉල්ලා ඇත .

නීතිඥ ගෞරි සංගරී තවරාසා මහත්මිය ගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා පෙත්සම් කරු වෙනුවෙන් පෙනී සිටියේය.

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.