අවලෝකීතේෂ්වර අත්අඩංගුවට


 

(ගයාන් සූරියආරච්චි සහ මනෝප්‍රිය ගුණසේකර)

අවලෝකේතීශ්වර බෝධිසත්වයන් බවට හඳුන්වා ගනිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ දේශනා කළැයි කියන සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොඩිතුවක්කු මුදියන්සේලාගේ මහින්ද කොඩිතුවක්කු නමැත්තෙකි.

සැකකරු විසින් සිදුකළ ඇති බව කියන බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන පරිදි දේශනා සම්බන්ධව, මුදල් විශුද්ධිකරණ පනත සහ මහජන සාමය කඩවීම යන කරුණු සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

බලන්ගොඩ කාශ්‍යප හිමියන් විසින් කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුට රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඔහුගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කිරීමට රහස් පොලිසියට ඉකුත් (12) අවසර ලබාදී තිබුණි.

අවලෝකේතීහ්වර බෝධිසත්වයන් වහන්සේ බවට හඳුන්වාගනිමින් කැලණිය විහාරස්ථානයට පසුගිය (1) වැනිදා පැමිණි මෙම සැකකරු පැහැදිලිවම රංගන ශිල්පියකු බවත් අවුරුදු 10 ක් ඊජිප්තුවේ වාසය කරන අතරතුර බුදු දහමේ ඇති සූත්‍ර විකෘති කරමින් දේශනා දෙසීයකට අධික ප්‍රමාණයක් සමාජ මාධ්‍යයන්ට හා යු-ටියුබ් නාළිකාවලට මුදාහැර ඇති බවත් අධිකරණයේදී අනාවරණය විය.

ජාත්‍යන්තර සිවිල් හා දේශපාලනය පිළිබඳ සම්මුති පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඉදිරියේදී මෙම පුද්ගලයා පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ