අලුතෙන් බඳවාගත් අයට වැටුප් ගෙවන්න කෝටි 11ක අමතර වියදමක්


(ඩී.ජී. සුගතපාල)

දකුණු පළාතේ පාසල්වලට අලුතෙන් බඳවා ගන්නා  ලද  අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින්ට සහ අලුතෙන් පත්වීම් ලබාදුන් ගුරුවරුන්ට  වැටුප් ගෙවීම සඳහා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට මසකට රුපියල් මිලියන 117 ක අමතර වියදමක් දැරීමට සිදුව තිබේ.

දකුණු පළාතේ පාසල් 1113ක් පිහිටා ඇත. පසුගිය මාසයේ  මෙම පාසල්වලට අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් 2543 දෙනෙකු සහ ගුරුවරුන් 934 දෙනෙකු බඳවා ගෙන ඇති අතර වැඩිම අනධ්‍යයන සේවකයින් බඳවා ගෙන ඇත්තේ මාතර දිස්ත්‍රික්කයෙන් බව අනාවරණය වී තිබේ.

පාසල් කම්කරු, පාසල් මුරකරු, රසායනාගාර සේවක, පුස්තකාල සේවක, සනීපාරක්ෂක කම්කරු ආදි තනතුරු සඳහා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට සේවකයින් බඳවා ගෙන ඇත.

අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට බඳවාගත් 2543ට  වැටුප් ගෙවිම සඳහා මාසයකට රුපියල් මිලියන 84 ක් ද ගුරුවරුන් 934ට වැටුප් ගෙවීම සඳහා මාසයකට රුපියල් මිලියන 33 ක් ද වශයෙන් මෙසේ මාසයකට රුපියල් මිලියන 114 ක  අමතර වියදමක් දැරීමට සිදුව ඇත.