අලුත්කඩේට කැරලි මර්දනෙත් එයි


කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය වටා පොලීසිය, කැරලි මර්දන බළඇණි, පොලිස් විශේෂ කාර්ය බළකාය , යුද හමුදාව දැඩි ආරක්ෂක මුර යොදා තිබේ. නව අගවිනිසුරු මොහාන් පීරිස් දිවුරුම් දී වැඩ බාර ගැනීම හා ජනපති විසින් පහකැරුණු ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය උසාවි එතියි රාවයක් ඇති බව ද ආරක්ෂක අංශ කියයි.

නම හෙළි නොකළ ආරක්ෂක නිලධරයකු කීවේ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය උසාවියට එනවාදැයි සෝදිසියෙන් සිටින බවයි. ඇය පැමිණියහොත් ඇතුළුවීමට ඉඩ නොදෙන තත්ත්වයක් පවතින බව ඔහු නොකියා කීවේය.

උපාරිමාධිකරණයේ ප්‍රධාන ගේට්ටු දෙකම වසා ඇත.

හඳුනාගත් වාහනවල  විනිසුරු දොරටුවෙන් ඇතුළුකරන බවත්, ඒවායේ සිටින විනිසුරුවරුන්ට පොලීසිය ආචාර කරන බවත් දැකගත හැකි විය. නීතීඥවරුනගේ වාහන සෝදිසි නොකරන නමුත් එහි යන එන්නන් ගැන දැඩි විමසීමක් කැරෙන බව දැකගන්නට ඇත.

ඡායාරූප මාධ්‍යවේදීනට හා වීඩියෝ ශිල්පීනට අධිකරණයට ඇතුළු වීම පොලීසියෙන් තහනම් කැර ඇත. දෙස් විදෙස් මාධ්‍යවේදීහු විශාල පිරිසක් උසාවියෙන් එළියේ රැස්ව සිටිති.

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරුසමයේ දෝෂාභියෝගයට විරුද්ධව ගොනු කළ පෙත්සමක්  අද විභාගයට ගැනීමට නියමිතය.