අලියා මාරුකළ මන්ත්‍රීන්ට එරෙහිව එජාපය හෙණ්ඩුව ගනී


2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් තරඟ කර පාර්ලිමේන්තුවට තේරීපත්ව පසුව ආණ්ඩුවට එක්වී දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය දෙන  සියලුම මන්ත්‍රීවරුනට එරෙහිව  අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කැර තිබේ.

එක්සත් ජාතික පක්ෂය මේ තීරණයට එළඹ ඇත්තේ පක්ෂ ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාව ප්‍රකාරව එජාප පාර්ලිමේන්තු කණ්ඩායම සහ අරමුණු යටතේ සම්පාදිත විධිවිධාන අනුවය.

ආචාර්ය ශිරාණි බන්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ගනු ලැබූ ඒකමතික තීරණය මේ වන විට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ‘ඉරි තුනේ නියෝගය‘ මගින් දැනුම්දීමට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා මේ වන විටත් පියවර ගෙන තිබේ.

ඒ නුව ආචාර්ය ශිරාණි බන්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේදී ඊට විරුද්ධව ඡන්දය දෙන ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ රාවුෆ් හකීම්, බෂීර් සේගුදාවුඩ්, ෂරීෆ් තවුෆික්, මොහොමඩ් හරිස්, එම් කේ මොහොමඩ්, ෆයිසාල්, එම් ෆාරුක් , මොහොමඩ් තම්බි හසන් අලි සහ අස්ලම් මොහොමඩ් සලීම් මොහොමඩ් යන මහත්වරුන්ට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා මේ වන විටත් දැනුම් දී ඇත.

ඊට අමතරව අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අබ්දුල් කාදර් සහ අර්ල් ගුණසේකර අධීක්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රභා ගණේෂන්, උපේක්ෂා ස්වර්ණමාලි, පී දිගම්බරන්, ශ්‍රී රංගා, මනූෂ නානායක්කාර සහ නිමල් විජේසිංහ මහත්වරුනට ද දෝෂාභියෝගයේදී ඊට විරුද්ධව ඡන්දය දෙන්නැයි දැණුම් දී තිබේ.